ශ්‍රීලංකන් ගුවන්සේවය චීනයේ සිටින ශ්‍රී ලාංකික සිසුන්ට නැවත මෙරටට පැමිණීමට පහසුකම් සපයයි

    January, 27, 2020

    කොරොනා වයිරස් වසංගතය හමුවේ අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මත කඩිනමින් ක්‍රියාත්මක වන ශ්‍රීලංකන් ගුවන් සේවය දැනට චීනයේ සිටින ශ්‍රී ලාංකික සිසුන්ට තම නිවෙස් කරා ආපසු යාමට පහසුකම් සැලසීමට පියවර ගෙන තිබේ.

    බීජිං සහ කැන්ටන් සිට ගුවන්ගමන් නියමිත කාලසටහනට අනුව සිදුකරන අතර නැවත ශ්‍රී ලංකාව බලා යාමට අවශ්‍ය සිසුන්ට ජාතික ගුවන් සේවය වහාම 50% ක වට්ටමක් ලබා දීමට පියවර ගෙන ඇත.

    මීට අමතරව, දැනට චීනයේ සිටින සිසුන් සඳහා විශේෂ ගුවන් ගමනක් ක්‍රියාත්මක කිරීමටද ශ්‍රීලංකන් ගුවන් සේවය සැලසුම් කරයි. මේ සම්බන්ධයෙන් චීනයේ සහ ශ්‍රී ලංකාවේ අදාළ බලධාරීන් සමඟ සිවිල් ගුවන් සේවා හා සෞඛ්‍ය බලධාරීන් සහ ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යාංශය සමඟ සාකච්ඡා පැවැත්වෙමින් තිබේ.

    සති කිහිපයකට පෙර චීනයෙන් ආරම්භ වූ කොරෝනා වයිරසය ආසියාවේ, යුරෝපයේ සහ උතුරු ඇමරිකාවේ රටවල් කිහිපයකට දක්වා ව්‍යාප්ත වී ඇති අතර 1,400 කට අධික පිරිසක් පීඩාවට පත්ව ඇති අතර 40 කට අධික සංඛ්‍යාවක් මිය ගියහ. පසුගිය දින කිහිපය තුළ ශ්‍රී ලංකාවේද සැකකටයුතු සිද්ධීන් කිහිපයක් අනාවරණය වී තිබේ.