රවී විජේරත්නගේ MTD Walkers ගනුදෙනුවට තිත

    January, 28, 2020

    අර්බුදයට ලක්ව ඇති ඉදිකිරීම් සමාගමක් වන MTD Walkers PLC හි බහුතර කොටස් අයිතිය මිල දී ගැනීම සඳහා මෙරට ප්‍රධාන පෙළේ කැසිනෝ ව්‍යාපාරිකයෙකු/ බලපත්‍රධාරියෙකු වන රවී විජේරත්න මහතා විසින් එකඟතාව පළ කර තිබෙන බව පසුගිය 2019 සැප්තැම්බර් 09 දින වාර්තා විය.

    කෙසේ වෙතත් මේ පිළිබඳව අද (28) දිනයේ දී MTD Walkers PLC විසින් කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත දැනුම් දී සිටින්නේ, අදාළ ගනුදෙනුව සම්බන්ධයෙන් කිසිදු ධනාත්මක සංවර්ධනයක් මෙතෙක් සිදුවී නොමැති බවයි.

    මෙම කොටස් ගනුදෙනුව සිදුකිරීම සඳහා ගිවිසා ගෙන තිබූ කාලය මේ වන විට අවසන්ව ඇති අතර තවදුරටත් මෙමඟින් කිසිදු පාර්ශවයකට බලපෑමක් නොවන බව ද MTD Walkers PLC හි සභාපති වෙනුවෙන් එහි සමාගම් ලේකම් පී.එස්. ආටිගල විසින් කොටස් වෙළෙඳපොළ වෙත දැනුම් දී තිබේ.

    මෙම ගනුදෙනුව සිදුකිරීම වළක්වාලමින් 2019 සැප්තැම්බර් 26 දින කොළඹ වාණිජ මහාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය. ඒ, කොමර්ෂල් බැංකුව විසින් ගොනුකරන ලද නඩුවක් හේතුවෙනි.

    MTD Walkers PLC සමාගමේ නිකුත් කළ ප්‍රාග්ධනයෙන් 90.78% ක් හෙවත් කොටස් 152,183,583 ක හිමිකම MTD Capital Bhd සතුව පවතී. සමාගමේ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු ද මේ වන විට අත්හිටුවා ඇත. 2019 පෙබරවාරි 13 දින අවසානවරට මෙම සමාගමේ කොටස් ගනුදෙනු සිදුවූ අතර එහිදී කොටසක මිල සටහන් වූයේ රු. 15.50 ක් වශයෙනි.

    සිය සමාගම විසින් සිදුකරනු ලබන ව්‍යාපෘති වෙනුවෙන් ලැබිය යුතු මුදල් ප්‍රමාද වීම හේතුවෙන් 2019 මාර්තු 31 දින වන විට ගෙවිය යුතු ණයකර පොළී මුදල්, ගෙවීමට නොහැකි තත්ත්වයක් පැන නැඟී ඇති බව MTD Walkers PLC පසුගිය වසරේ අප්‍රේල් මාසයේ දී කියා සිටියේය.

    2019 ජූනි 30 දින වන විට සමාගමේ ජංගම හා ජංගම නොවන බැරකම් ප්‍රමාණය රුපියල් බිලියන 36ක් ඉක්මවා තිබිණි.