February, 1, 2020
ශ්‍රීලංකන් ගුවන් සේවය තම ධෛර්යවන්ත කාර්යමණ්ඩලයට කෘතවේදීත්වය පිරිනමය
චීනයේ වූහාන් ප්‍රදේශයේ රැඳී සිටි ශ්‍රී ලාංකික සිසුන් නැවත මව්රටට ගෙන්වාගැනීමේ උදාර මෙහෙයුමට දායක වෙමින් එනම්, 2020 පෙබරවාරි පළමුවැනිදා ශ්‍රීලංකන් ගුවන් සේවයට අයත් UL 1423 ගුවන්යානය හරහා ඔවුන් නිරුපද්‍රිතව මෙරටට ගෙනඒමේ මානුෂිය මෙහෙයුමට ස්වේච්ඡාවෙන් දායක වූ ගුවන් කාර්යමණ්ඩලය ඇතුළු සමස්ත ශ්‍රීලංකන් කාර්යමණ්ඩලය වෙත ශ්‍රීලංකන් ගුවන් සේවය සිය හෘදයාංගම ස්තූතිය පළකර සිටී.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මත මෙම මානුෂිය මෙහෙයුම ක්‍රියාත්මක වූ අතර කොළඹ සිට වූහාන් බලා පියාසර කළ UL 1423 යානය විරාමයකින් තොරව දිගු ගුවන් ගමනක් නිමාකරමින් සෙනසුරාදා (1) උදෑසන මත්තල රාජපක්ෂ අන්තර්ජාතික ගුවන්තොටුපොළ හරහා වූහාන් නගරයේ රැඳී සිටි ශ්‍රී ලාංකික සිසුන් පිරිස නැවත මෙරටට රැගෙනඒමට සමත්විය. මෙසේ පැමිණි සිසුන් සෞඛ්‍ය බලධාරීන් හා හමුදා අංශ ඇතුළු අදාළ අංශ වෙත ඉදිරි කටයුතු සඳහා භාරකෙරිණි.
මෙම ක්‍රියාන්විතය පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රීලංකන් ගුවන්සේවයේ සභාපති, අශෝක් පතිරගේ මහතා මෙසේ පැවසීය. “සුනාමි අවස්ථාවක් වේවා, ත්‍රස්ත උවදුරක් වේවා ඕනෑම ආපදා අවස්ථාවකදී ජාතික ගුවන් සේවය, අපේ ජාතික අවශ්‍යතා වෙනුවෙන් පෙනී සිටියා. කුමන අභියෝගයක් යටතේ වුවත් එම ජාතික වගකීම නොපිරිහෙළා ඉටුකිරීමට අපි සෑමවිටම කටයුතු කරන බව පවසන්නේ අභිමානයෙන් යුතුවයි”.
“කොරෝනා වයිරසය හේතුවෙන් දැනට හුදෙකලා කරඇති වූහාන් නගරයට යාම සඳහා ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ අපගේ ගුවන් කාර්ය මණ්ඩල සාමාජිකයින් 16 දෙනාගේ පරාර්ථකාමී මෙහෙවර පිළිබඳව අධ්‍යක්ෂ මණ්ඩලය ඇතුළු ශ්‍රීලංකන් ගුවන්සේවයේ සියලු සාමාජිකයින් අතිශය ආඩම්බරයට පත්වෙනවා. ගුවන් නියමුවන් ඇතුළු එම කාර්ය මණ්ඩලය තමන්ගේ සාමාන්‍ය රාජකාරි මට්ටම ඉක්මවා යමින් නැවතත් රට වෙනුවෙන් තම වගකීම නොපිරිහෙළා ඉටුකිරීමට ජාතික ගුවන් සේවය වශයෙන් පියවර ගෙන තිබෙනවා” පතිරගේ මහතා වැඩිදුරටත් පැවසීය.
“ඒ වගේම මත්තල ගුවන්තොටුපොළේදී මෙම ගුවන් මගීන් හැසිරවීමට දායකවූ අපගේ ගුවන්තොටුපොළ කාර්ය මණ්ඩලයට මෙන්ම, කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී දිනපතා චීනයේ සිට පැමිණෙන මගීන් හා භාණ්ඩ හසුරුවන කාර්යමණ්ඩල සාමාජිකයින්ටත්, වාණිජ කණ්ඩායම, ගුවන්යානා මෙහෙයුම්, ගුවන්යානා අභ්‍යන්තර සේවා, වෛද්‍ය මධ්‍යස්ථානය, කැන්ටන් කාර්යාලයේ සේවකයින් හා ඉංජිනේරු අංශය යන සෑම අංශයකම සේවක මහත්ම මහත්මීන්ට කෘතවේදීත්වය දැක්වීමට මෙය අවස්ථාවක් කරගැනීමට කැමතියි” සභාපතිවරයා ප්‍රකාශ කළේය.
මෙම මානුෂීය මෙහෙයුම සඳහා ජනාධිපති ලේකම් කාර්යාලය, විදේශ කටයුතු අමාත්‍යංශය, ශ්‍රී ලංකා යුද හමුදාව, විදේශ කටයුතු අමාත්‍යංශ ලේකම්, චීනයේ වැඩබලන ශ්‍රී ලංකා තානාපතිවරයා, බීජිංහි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, චීන රජය, ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය, ගුවන්තොටුපොළ හා ගුවන්සේවා සමාගම, ශ්‍රී ලංකා රේගුව, ආගමන හා විගමන දෙපාර්තමේන්තුව හා සෞඛ්‍ය අමාත්‍යංශය ඇතුළු විවිධ රාජ්‍ය ආයතන හා විශේෂ නිලධාරීන් රැසක් තම උපරිම දායකත්වය ලබාදී තිබුණි.
මේ අතර ශ්‍රී ලංකා ගුවන් හමුදාව ද සිය ජීව වෛද්‍ය ආධාරක කණ්ඩායම මත්තල ගුවන්තොටුපොළට එවමින් ශ්‍රීලංකන් ගුවන් සේවයට අවශ්‍ය සියලු පහසුකම් සැලසූ අතර එම සහයෝගය ද මෙම මෙහෙයුම සාර්ථක කරගැනීම සඳහා විශාල පිටුවහලක් විය.












Video Story