2020 ජනවාරි මාසයේ දී චීනෙන් 22,363ක් ඇවිත්

    February, 3, 2020

    2020 ජනවාරි මාසයේ දී ශ්‍රී ලංකාවට පැමිණි මුළු විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 226,094 ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ නවතම සංඛ්‍යාලේඛන අනාවරණය කර සිටී. 2019 වසරේ ජනවාරි මාසයේ දී මෙම අගය 244,239 ක් ලෙසින් වාර්තා වූ අතර මේ අනුව පසුගිය වසරට සාපේක්ෂව මෙම වසරේ ජනවාරි මාසයේ දී සංචාරකයින්ගේ පැමිණීම සමස්තයක් වශයෙන් 7.4%කින් පහළ ගොස් තිබේ.

    2019 අප්‍රේල් 21 පාස්කු ප්‍රහාර මාලාවෙන් අනතුරුව මෙරට සංචාරක කර්මාන්තය දැඩි පසුබෑමකට ලක් වූ අතර ඉන්පසු තනි මාසයක් තුළ පැමිණි වැඩිම සංචාරකයින් ප්‍රමාණය පසුගිය 2019 දෙසැම්බර් මාසයේ දී වාර්තා විය. එය 241,663 කි. මේ අනුව මාසික පදනම මත 2019 දෙසැම්බර් මාසයට වඩා 2020 ජනවාරි මාසයේ දී සංචාරක පැමිණීමෙහි 6.44% ක පහළ යාමක් වාර්තා වේ.

    මේ අතර පසුගිය ජනවාරි මාසයේ දී ශ්‍රී ලංකාවට පැමිණි චීන සංචාරකයින් ප්‍රමාණය 22,363ක් ලෙසින් වාර්තා වී ඇත. මෙය 2019 ජනවාරි මාසයේ දී පැමිණි 26,414 ක්වූ චීන සංචාරකයින් ප්‍රමාණය හා සැසඳීමේ දී 15.3%ක පහළ යාමකි. 2019 දෙසැම්බර් මාසයේ දී චීන සංචාරකයින් 16,648 ක් ශ්‍රී ලංකාවට පැමිණ ඇති අතර මාසික පදනම මත 2019 දෙසැම්බර් මාසයට වඩා 2020 ජනවාරි මාසයේ දී එම ප්‍රමාණය 34%කින් ඉහළ ගොස් ඇත.

    2020 ජනවාරි මාසයේ දී චීනෙන් පැමිණි සංචාරකයින් ප්‍රමාණය ශ්‍රී ලංකාවට පැමිණි සමස්ත සංචාරකයින් සංඛ්‍යාවෙන් 10%කට ආසන්න වේ.

    මේ වන විට ගෝලීය වසංගත තත්ත්වයක් බවට පත්ව ඇති කොරෝනා වෛරස් තත්ත්වය හේතුවෙන් ලොව පුරා සංචාරක කර්මාන්තය දැඩි අර්බුදකාරීත්වයකට පත්ව තිබේ. මේ තත්ත්වය හේතුවෙන් ඇතැම් රටවල් චීන සංචාරකයින් තම රට තුළට පැමිණීම ද වළක්වා ඇත. මීට අමතරව චීනයේ වූහාන් ඇතුළු නගර ගණනාවකම මේ වන විට වසා දමා තිබෙන හෙයින් බොහෝ චීන වැසියන්ට රටින් පිටවීම ද වාරණයට ලක් කර තිබේ.

    මේ අනුව පවතින තත්ත්වය තුළ ශ්‍රී ලංකාව පමණක් නොව ලොව සියලූම සංචාරක ගමනාන්ත, කොරෝනා වෛරසයෙන් ඇතිවිය හැකි අහිතකර ආර්ථික ප්‍රතිවිපාකවලට මුහුණ පෑමට සූදානමින් පසුවිය යුතු වේ.