2019 දී සුරැකුම්පත් වෙළෙඳපොළෙන් ඩොලර් මිලියන 334 ක ශුද්ධ ගෙවීමක්

    February, 19, 2020

    2019 වසරේ දෙසැම්බර් මාසයේ දී රුපියල්වලින් නාමනය කරන ලද රාජ්‍ය සුරැකුම්පත් වෙළෙඳපොළෙහි වූ විදේශීය ආයෝජන එක්සත් ජනපද ඩොලර් මිලියන 100ක ශුද්ධ ගෙවීමක් වාර්තා කිරීම හේතුවෙන්, සමුච්ඡිත පදනම මත, 2019 වසර තුළ දී රාජ්‍ය සුරැක්ම්පත් වෙළෙඳපොළ වෙතින් එක්සත් ජනපද ලෙර් මිලියන 334ක ශුද්ධ ගෙවීමක් වාර්තා විය.

    2019 වසරේ දෙසැම්බර් මාසයේ දී ප්‍රාථමික හා ද්විතීයික වෙළෙඳපොළ ගනුදෙනු ඇතුළව කොළඹ කොටස් වෙළෙඳපොළ තුළින් එක්සත් ජනපද ඩොලර් මිලියන 5ක ශුද්ධ ගෙවීමක් වාර්තා විය. සමුච්ඡිත පදනම මත, 2019 වසරේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ වෙතින් එක්සත් ජනපද ඩොලර් මිලියන 35ක ශුද්ධ ගෙවීමක් වාර්තා විය.

    තවද, 2019 දෙසැම්බර් මාසයේ දී රජය වෙත වූ දිගුකාලීන ණය, ශුද්ධ ලැබීම් එක්සත් ජනපද ඩොලර් මිලියන 8 ක් ලෙසින් වාර්තා වී තිබේ.

    මේ අතර 2019 වසරේ දෙසැම්බර් මස අවසානය වන විට දළ නිල සංචිත එක්සත් ජනපද ඩොලර් බිලියන 7.6 ක් වූ අතර, එය ආනයනික මාස 4.6කට සමාන විය. තවද, දළ නිල සංචිත හා බැංකු අංශයේ විදේශීය වත්කම්වලින් සමන්විත මුළු විදේශීය වත්කම් ප්‍රමාණය, 2019 දෙසැම්බර් මස අවසානය වන විට එක්සත් ජනපද ඩොලර් බිලියන 10.4 ක්වූ අතර, එය ආනයනික මාස 6.3කට සමාන විය.

    ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද 2019 දෙසැම්බර් මාසයේ විදේශීය අංශයේ ක්‍රියාකාරීත්වය පිළිබඳ වාර්තාවෙහි මේ බව සඳහන් වේ.