යල කන්නයේ සිට ගොවීන්ට පරිසර හිතකාමී පොහොර නොමිලේ – නියමු ව්‍යාපෘතියක් ඇරඹේ

    February, 20, 2020

    ඉහළ ගුණත්වයෙන් යුත් කාබනික පොහොර භාවිතා කිරීම සඳහා ගොවීන් උනන්දු කිරීම පිණිස ක්‍රමවේදයක් සකස් කළ යුතු බවට 2020 ජනවාරි 02 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණය කරන ලදී. ඒ සම්බන්ධයෙන් ක්‍රමවේදයක් සකස් කිරීම පිණිස සහ යෝග්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුකමිටුවක් පත් කරනු ලැබ ඇත.
    දැනටමත් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින් කාබනික පොහොර සඳහා ප්‍රමිතීන් ප්‍රකාශයට පත් කර ඇති බැවින් කාබනික දියර පොහොර සහ ජෛව පොහොර සඳහා ද අදාළ ප්‍රමිතීන් කඩිනමින් ප්‍රකාශයට පත් කළ යුතු බවට එම කමිටුව විසින් පෙන්වා දී ඇත. මේ වන විට දීප ව්‍යාප්තව කාබනික පොහොර නිෂ්පාදකයින් 250ක් පමණ නිෂ්පාදන කටයුතුවල යෙදෙන අතර ඉන් 36 දෙනෙකුට තත්ත්ව සහතික නිකුත් කරනු ලැබ ඇත.

    මෙම කරුණු සැලකිල්ලට ගනිමින් පරිසර හිතකාමි පොහොර භාවිතය සඳහා ගොවීන් දිරිගැන්වීමේ අපේක්ෂාවෙන් තෝරාගත් ප්‍රදේශ කිහිපයක වී සහ අනෙකුත් බෝග වගාවන් සඳහා රසායනික පොහොර වෙනුවට පරිසර හිතකාමී පොහොර වර්ග සම්පූර්ණයෙන්ම හෝ යම් අනුපාතයකට අනුව රසායන පොහොර සමඟ සහනාධාරයක් වශයෙන් නොමිලේ නිකුත් කිරීමේ ක්‍රමවේදයක් සකස් කර නියමු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමටත්, නියමු ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ලබන ප්‍රදේශවල අවම වශයෙන් කන්න 04ක් සඳහා එම පොහොර යෙදීම මඟින් ඵලදායිතාව නිශ්චය කොට එහි ප්‍රතිඵල අනුව එකී ව්‍යාපෘතිය තවදුරටත් ව්‍යාප්ත කිරීමටත් මහවැලි, කෘෂිකර්ම, වාරිමාර්ග සහ ග්‍රාමීය සංව‍ර්ධන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.