‘කුරුම්බැට්ටියා‘ 10 ක් මිල දී ගන්න කැබිනට් මණ්ඩලය තීරණය කරයි. එකක් එක්ලක්ෂ අසූදාහයි.

    February, 28, 2020

    ජන ඝනත්වය ඉහළ යාම සහ වර්තමාන පරිභෝජන රටාව හේතුවෙන් පරිසරයට බැහැර කරන කසළ ප්‍රමාණය ද ඉහළ ගොස් ඇත. කසළ එක්රැස් කිරීම සඳහා කම්පැක්ටර් රථ හෝ ට්‍රැක්ටර් රථවලට පහසුවෙන් ළඟා විය නොහැකි අතුරු මාර්ගයන් හි කැළිකසළ එක්රැස් කිරීම දැනට අත්ට්‍රැක්ටර් මඟින් සිදුකරනු ලබයි.

    දෙශීය නව නිපැයුම්කරුවකු වන සීමාසහිත නේෂන් අයි (පුද්ගලික) සමාගම විසින් එවැනි අතුරු මාර්ගයන්ට පහසුවෙන් ප්‍රවේශ විය හැකි පරිසර හානි අවම, කිලෝග්‍රෑම් 250-300 පමණ බරක් රැගෙන යා හැකි බක්කිය සහිත ‘කුරුම්බැට්ටියා‘ නම් පාපැදියක් නිෂ්පාදනය කර තිබේ.

    මෙම පාපැදි 10ක් මිල දී ගෙන නියමු ව්‍යාපෘතියක් ලෙස පළාත් පාලන ආයතන වෙත ද මෙවැනි පාපැදි ලබා දීමට යෝජනා වී ඇත.

    ඒ අනුව එම බහුකාර්ය පාපැදි 10ක් එකක් රු. 180,000 බැගින් රු. මිලියන 1.8 ක මුදලකට මිල දී ගෙන ආගමික ස්ථාන හා පෞරාණික ස්මාරක පිහිටා ඇති පළාත් පාලන ආයතන වෙත ලබා දීම පිණිස රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.