March, 4, 2020
ක්ෂුද්‍ර මූල්‍ය ණය හේතුවෙන් පීඩාවට පත් ජනතාව ඉන් මුදා ගැනීමට සහන පොලී ණය පහසුකම් සැලසීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මුදල් අමාත්‍යවරයා වශයෙන් විසින් ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අදාළව ඉදිරි කටයුතු සිදු කිරීම සම්බන්ධයෙන් පළාත් පාලන නිලධාරීන් දැනුම්වත් කෙරේ. උතුර සහ උතුරු මැද පළාත්වල දැනට ක්‍රියාත්මක මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරෙන අතර අනුරාධපුර දිස්ත්‍රික් පළාත් පාලන ආයතන නිලධාරීන් දැනුම්වත් කිරීමේ වැඩසටහන පසුගිය දා (03) උතුරු මැද පළාත් සභා ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.
ණයබරතාවයෙන් පීඩාවට පත් ජනතාව ඉන් මුදා ගැනීම සඳහා රුපියල් මිලියන 250ක මුදලක් දැනටමත් ලබා දී ඇති අතර මුදල් අමාත්‍යවරයාගේ නව යෝජනාව යටතේ එම මුදල යළි භාණ්ඩාගාරය වෙත භාර නොගෙන චක්‍රිය අරමුදලක් ලෙස ක්‍රියාත්මක කෙරේ. මෙමගින් ඉදිරියේ දී ද මෙවැනි පීඩාවන්ට පත්වන ජනතාව සහන සැලසීමට අදාළ අරමුදල යොදා ගැනීමේ හැකියාව පවතී.
2018 වසරේ දී ආරම්භ කෙරුණු මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමේ දී ගැටලු රැසකට මුහණ දීමට පළාත් පාලන ආයතනවල නිලධාරීන්ට සිදු විය. ඉන් ප්‍රධාන ගැටලුව වූයේ පුද්ගලයකු වෙනුවෙන ණය නිකුත් කළ හැකි සීමාව රුපියල් 40,000ක් ලෙස පැවැතීමයි. එහෙත් විශාල පිරිසක් ඊට වඩා වැඩි මුදලක් ණය වශයෙන් ලබා ගෙන ඇති බැවින් එම මුදල රුපියල් 60,000 දක්වා ඉහළ නැංවීමට මෙවර කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
අදාළ ණය මුදල පියවීම සඳහා සමූපකාර ග්‍රාමීය බැංකු මගින් ජනතාව වෙත ලබා දෙන ණය මුදලේ වාර්ෂික පොලී අනුපාතය පැවැතියේ 14%ක ලෙස ය. නව යෝජනාවට අනුව එම පොලී අනුපාතය තනි ඉලක්කමකට ගෙන එමින් 9%ක් බවට පත් කිරීමට මුදල් අමාත්‍යවරයා පියවර ගෙන ඇත. ඉන් 8%ක මුදල යළිත් චක්‍රීය අරමුදලට බැර කෙරෙන අතර ඉතිරි 1% පරිපාලන වියදම් සඳහා යොදා ගැනේ.
මෙම වැඩසහටනේ දී ශ්‍රී ලංකා මහ බැංකුවේ මෙහෙයවීමෙන් මූල්‍ය සාක්ෂරතාව පිළිබඳ දේශනයක් ද පැවැත්විණි.
දිස්ත්‍රික් ලේකම් ආර්.එම්. වන්නිනායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති උත්සවය සඳහා සංවර්ධන බැංකු සහ ණය යෝජනා පිළිබඳ රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ඩී.ඩී. මාතරආරච්චි මහතා ඇතුළු නිලධාරීහු සහභාගී වූහ.
අනුරාධපුර දිස්ත්‍රික්කයේ සියලුම පළාත් පාලන ආයතන නියෝජනය කරමින් සහකාර අධ්‍යක්ෂවරු, සංවර්ධන නිලධාරීහු සහ ක්ෂේත්‍ර නිලධාරීහු 700ක පමණ පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
Video Story