March, 17, 2020
ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය ඊයේ (16) පැවති හදිසි රැස්වීමේ දී, මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතික පදනම් අංක 25 කින් අඩු කිරීමට සහ ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය ප්‍රතිශතාංක 1.00 කින් අඩු කිරීමට තීරණය කරන ලදී. මුදල් මණ්ඩලයේ මෙම තීරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්. ඩී. ලක්ෂ්මන් මහතා වැඩිදුරටත් මෙසේ කියා සිටී.
“ගෝලීය වශයෙන් සීඝ්රයෙන් ව්‍යාප්ත වන කොරෝනා (COVID-19) වසංග.ය සහ ශ්‍රී ලංකාව තුළ එය තවදුරටත් ව්‍යාප්තවීමේ හැකියාව රටේ ආර්ථික කටයුතු කෙරෙහි ඇති කළ හැකි දැඩි බලපෑම සැලකිල්ලට ගිනිම්න මෙය හදිසි අවශ්‍යතාවක් කොට සලකා පූර්වෝපායික ක්‍රියාමාර්ගයක් ලෙසයි මුදල් මණ්ඩලය ඉහත කී තීරණය ගත්තේ.“
“වෙළෙඳපොළ ණය පොලී අනුපාතික තවදුරටත් අඩු කිරීමත් දේශීය මුදල් වෙළෙඳපොළ ද්‍රවශීලතා තත්ත්වය ඉහළ නැංවීමත් අරමුණු කොට, මුදල් මණ්ඩලය ඊයේ ගත් ක්‍රියාමාර්ග, ආර්ථික ක්‍රියාකාරකම් යථා තත්ත්වයට පත් කිරීමට මින් පෙර ගෙන තිබූ ක්‍රියාමාර්ග තවදුරටත් ශක්තිමත් කරනු ඇත. මෙම වසරේ මේ දක්වා කාලය තුළ ප්‍රතිපත්ති පොලී අනුපාතිකයන් හි පදනම් අංක 75 ක සමුච්ඡික අඩුවීමක් කර ඇත. ව්‍යස්ථාපිත සංචිත අනුපාතය අඩු කිරීම හරහා අරමුදල් පිරිවැය පහළ යනු ඇත. මේවායේ ප්රතිලාභ තවදුරටත් ප්‍රමාදයකින් තොරව වෙළෙඳපොළ වෙත බා දෙන ලෙස, බලපත්‍රලාභී වාණිජ බැංකු ප්රමුඛ සියලු ආයතන වෙතින් මහ බැංකුව දැඩි සේ ඉල්ලා සිටියි. හදිසි සහාය අවශ්‍ය පුද්ගල කාණ්ඩයන් වෙත කාලීනව අවශ්‍ය කෙරෙන සහාය ලැබෙන බව සහතික කළ යුතුය. රටේ ව්‍යාපාර කටයුතු යළි පණ ගසා නැගී සිටීම තමන්ගේ ස්වයං - අභිමතාර්ථ සපුරා ගැනීමට අවශ්‍ය බව මූල්‍ය ආයතන තරයේ සිහි තබා ගැනීම වැදගත් වේ.“
“මූල්‍ය වෙළෙඳපොළ තුළ කලබකාරී තත්ත්වයන් ඇති කිරීමට තුඩු දෙන සමපේක්ෂණ (Speculative) ක්‍රියාකාරකම්වල යෙදීමෙන් වළකින ලෙස ද මහ බැංකුව මූල්‍ය ආයතනවලින් ඉල්ලි සිටියි.“
“කොරෝනා වසංගතයේ ආර්ථික බලපෑම අවම කිරීමට අවශ්‍ය ෆිස්කල් සහ මුදල් ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග සම්බන්ධීකරණය කොට ක්‍රියාත්මක කිරීම සඳහා මහ බැංකුව රජය සමඟ සමීපව කටයුතු කරමින් සිටියි. ඊවේ දිනයේ දී සිදුකළ පරිදි, මහ බැංකුව පිහිටුවා ඇති, මනාව අත්හදා බලන ව්‍යාපාර අඛණ්ඩතා සැකසුම්, අවශ්‍ය අවස්ථාවන් හිදී ක්‍රියාත්මක වනු ඇත. එමගින් මුදල් භාවිතයෙන් හා විද්‍යුත් මාර්ගවලින් මහජනයා කරන ගනුදෙනුවල දී ඇති විය හැකි බාධාවන් වළක්වාලීමත්, රජයේ මෙන්ම මහ බැංකුවේ වගකීම් නිසි වේලාවට පියවීමත් සහතික කෙරෙනු ඇත.“
“ශ්‍රී ලංකා මහ බැංකුව ගෝලීය හා දේශීය වෙළෙඳපොළ ප්රවණතාවන් සමීපව නිරීක්ෂණය කරමින් සිටින අතර, කොරෝනා වසංගතයෙන් ඇති විය හැකි ආර්ථික බලපෑම් අවම කිරීම සඳහා නොකඩවා අවශ්‍ය ක්‍රියාමාර්ග ගනු ඇත.“
Video Story