ශ්‍රී ලංකාව සහ චීනය ඇ.ඩො. මිලියන 500 ක මූල්‍ය පහසුකම් සහිත ගිවිසුමකට අත්සන් තබයි

    March, 19, 2020

    ශ්‍රී ලංකා රජය සහ චීන සංවර්ධන බැංකුව අතර ඇ.ඩො. මිලියන 500 ක මූල්‍ය පහසුකමක් සඳහා වන ගිවිසුම (18) අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉදිරියේ දී අරලිය ගහ මැදුරේදී අත්සන් තැබිණි.

    ශ්‍රී ලංකා රජය වෙනුවෙන් භාණ්ඩාගාර ලේකම් එස්.ආර් ආටිගල මහතා සහ චීන සංවර්ධන බැංකුව වෙනුවෙන් චීන සංවර්ධන බැංකුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වැන්ග් වෙයි මහතා (Mr. Wang Wei) විසින් අත්සන් තැබීය. චීන තානාපති කාර්යාලයේ නිලධාරී හූ වෙයි (Mr. Hu Wei) මහතා සහ චීන සංවර්ධන බැංකුවේ උප සභාපති මා ෂින් (Mr. Ma Xin) මහතා ද මෙම අවස්ථාවට එක් වූහ.

    මෙම පහසුකම රටේ සංවර්ධන අවශ්‍යතා සපුරාලීම සඳහා ශ්‍රී ලංකා රජය විසින් චීන රජය සහ චීන සංවර්ධන බැංකුව වෙත කරන ලද ඉල්ලීමක් අනුව ලබා දෙන ලදී.

    අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කළ ඉල්ලීම සලකා බලමින් 2020 විදේශ විනිමය කාලීන මූල්‍ය පහසුකම සඳහා චීන රජය මගින් සහනදායී කොන්දේසි ලබා දී තිබේ. සහන පොලී අනුපාත යටතේ ගෙවීමේ කාලය වසර 10 ක් දක්වා දීර්ඝ කර ඇත.

    සය මාසික ලන්ඩන් අන්තර් බැංකු පොළී අනුපාතිකය පෙර වසරට වඩා අඩුවීමෙන් පොළී අනුපාතයද වාසිදායක ලෙස අඩු වී ඇත. අදාළ ඇ.ඩො.මිලියන 500 ක මුදල ලබන සතිය ආරම්භයේදී ලබා ගැනීමට නියමිත අතර එමඟින් රටේ නිල විදේශ විනිමය සංචිතද ශක්තිමත් වනු ඇත.