වාණිජ සහ කර්මාන්ත මණ්ඩල කොරෝනා වෛරසය පැතිරීම වැලැක්වීමට රජය ගත් තීරණයන්ට සහය පළකරයි

    March, 20, 2020

    COVID-19 වෛරසය හේතුවෙන් රටට ඇතිවිය හැකි බලපෑම සහ එකී අහිතකර බලපෑම් අවම කිරීමට රජයට සහය වීමේ අරමුණින් ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික ප්‍රජාව නියෝජනය කරන වාණිජ මණ්ඩල එක්ව යෝජනාවලියක් රජයට ඉදිරිපත් කරන ලදී. මෙම යෝජනා ඇතුලත් ලිපිය මාර්තු මස 18 වන දින අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට යොමුකරන ලදී. ලංකා වාණිජ මණ්ඩලය (Ceylon Chamber of Commerce) , තරුණ ලාංකීය ව්‍යවසායක මණ්ඩලය (Chamber of Young Lankan Entrepreneurs), ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලය (The National Chamber of Commerce), ශ්‍රී ලංකා වාණිජ හා කර්මාන්ත මණ්ඩලය සම්මේලනය (Federation of Chambers of Commerce and Industry of Sri Lanka), ජාතික අපනයනකරුවන්ගේ මණ්ඩලය (National Chamber of Exporters of Sri Lanka), ලංකා ජාතික කර්මාන්ත මණ්ඩලය (The Ceylon National Chamber of Industries), අන්තර්ජාතික වාණිජ මණ්ඩලය (International Chamber of Commerce Sri Lanka), කාන්තා කර්මාන්ත හා වාණිජ මණ්ඩලය (Women’s Chamber of Industry and Commerce Sri Lanka) සහ ශ්‍රී ලංකා ඉදිකිරීම් කර්මාන්ත මණ්ඩලය (Chamber of Construction Industry Sri Lanka) යන සංවිධාන එක්ව මෙම යෝජනාවලිය ඉදිරිපත් කරන ලද අතර ජනාධිපතිතුමා වෙත යවන ලැබූ ලිපිය සහ යෝජනාවලිය පහත පිරිදි වේ.

     

    අතිගරු ජනාධිපතිතුමනි,

    රටටම බලපාන COVID-19 වෛරසය පැතිරීම වැළැක්වීමට ඔබතුමාගේ නායකත්වය යටතේ රජය විසින් ගනු ලැබූ කාලෝචිත තීරණ අගය කරන අතර එකී ක්‍රියාමාර්ග වලට අපගේ සම්පූර්ණ සහයෝගය ලබාදීමට ඇපකැප වන වග ප්‍රථමයෙන්ම දන්වනු කැමැත්තෙමු. රජය විසින් මෙතෙක් ගනු ලැබූ ක්‍රියාමාර්ග හරහා වෛරසය පැතිරීමේ වේගය සැලකිය යුතු ලෙස අවම කරනු ඇතැයි අපි තරයේ විශ්වාස කරමු.

    කෙසේ වෙතත් වෛරසය පැතිරීමේ ස්වභාවය හේතුකොට ගෙන එය පැතිරීමේ අවදානම මෙන්ම වෛරසය පැතිරීම හේතුවෙන් රටේ ජනතාවගේ එදිනෙදා ජීවිතයට සහ මධ්‍ය සහ දීර්ඝ කාලීනව, ජාතික ආර්ථිකයට සිදුවිය හැකි අහිතකර බලපෑම පිළිබඳව අප අවදානයෙන් සිටින්නෙමු. එවන් තත්වයක් තුළ වෛරසය පැතිරීම හේතුවෙන් රටට ඇතිවන අහිතකර බලපෑම් අවම කිරීමට පහත සඳහන් යෝජනාවන් ක්‍රියාත්මක කිරීමට අප නිර්දේශ කර සිටින්නෙමු.

     

    ක්ෂණික ක්‍රියාමාර්ග

    රජයේ නිවාඩු ප්‍රකාශයට පත්කිරීම හරහා ජනතාව නිවෙස්වල රඳවා තැබීමට ගත් ක්‍රියාමාර්ග මාර්තු මස 22 දක්වා ක්‍රියාත්මක කිරීම. මාර්තු 22 දිනෙන් පසු COVID-19 වෛරසයේ ව්‍යාප්තිය සමාලෝචනය කර අවශ්‍ය නම් නිවෙස් වල සිට රාජකාරි කටයුතු කිරීම ඇතුලු ක්‍රියාමාර්ග ගැනීම හරහා නිවෙස් වල රඳවාගැනීම දීර්ඝ කිරීම. මෙහිදී දත්ත විශ්ලේෂණය සහ භූගෝලීය තොරතුරු පද්ධති භාවිතාකර අවදානම් සහිත ප්‍රදේශ හඳුනාගනිමින් උපායමාර්ග ක්‍රියාත්මක කිරීම වැදගත් වේ. එකී උපායමාර්ග යටතේ පහත ක්‍රියාමාර්ග ගත යුතු වේ.

     

    • ගුවන් ගමන් සම්පූර්ණයෙන් නැවැත්වීම සහ මගී ගමනාගමනය සඳහා ගුවන්තොටුපළ සම්පූර්ණයෙන් වසා දැමීම.
    • ආහාර සැපයීම, සෞඛ්‍ය සේවා, ඉන්ධන සහ බැංකු සේවා යන අත්‍යාවශ්‍ය සේවා හැරුණු කොට අනෙකුත් සියලුම කටයුතු තාවකාලිකව නැවැත්වීම. මේ හරහා ජනතාව අත්‍යවශ්‍ය කටයුත්තකට හැරෙන්නට නිවසින් පිට නොවීමට කටයුතු කරනු ඇත.
    • වෛරසය පැතිරීම වැළැක්වීම සහ ආසාදිතයන් සම්බන්ධයෙන් වන තොරතුරු බෙදාහැරීමට මධ්‍යගත ක්‍රම‍වේදයක් ස්ථාපනය කිරීම (එක් ස්ථානයක් හරහා තොරතුරු ලබාදීම). ව්‍යාජ තොරතුරු පැතිරීම හරහා ජනතාව අතර ඇතිවිය හැකි අනවශ්‍ය බිය පාලනය කිරීම උදෙසා මෙකී ව්‍යාජ තොරතුරු වලට ප්‍රතිචාර දැක්වීමට පැය 24 පුරාම ක්‍රියාත්මක වන මාධ්‍ය මධ්‍යස්ථානයක් ස්ථාපනය කිරීම. පැය 12 කට වරක් නවතම තත්වය පිළිබඳ දැනුවත් කිරීමට (කලින් තීරණය කරනු ලැබූ වේලාවකට) කටයුතු කිරීම.
    • සිල්ලර වෙළඳාමේ නියැලෙන (විශේෂයෙන්ම ආහාර සහ ඖෂධ) පුද්ගලික අංශයට ආර්ථික මධ්‍යස්ථාන ඇතුලු අනෙකුත් ස්ථානවලින් බාධාවකින් තොරව භාණ්ඩ ලබාගත හැකිබව තහවුරු කරන ප්‍රසම්පාදන ක්‍රියාවලියක් ස්ථාපනය කිරීම. ජනතාව නිවෙස්වල රුඳීසිටින කාලසීමාව තුළ වෙළඳපළට නිසි ලෙස භාණ්ඩ සැපයෙන බව තහවුරු කිරීමට විශේෂ අවධානයක් යොමුකල යුතුය.
    • වරාය, ගුවන්තොටුපළ සහ රේගුව වැනි භාණ්ඩ ආනයනය සහ අපනයනය කිරීමට සම්බන්ධ ආයතන වල කටයුතු නොකඩවා පවත්වාගෙන යෑම. මෙහිදී මෙකී ආයතන අවම සේවක සංඛ්‍යාවක් යොදාගනිමින් මෙන්ම එකී සේවකයන්ගේ ආරක්ෂාවද තහවුරු කරමින් පවත්වාගෙන යා යුතුය. මේ සඳහා රේගුව ඇතුලු ආයතන භාණ්ඩ පරීක්ෂා කිරීමේදී අනුගමනය කරන ක්‍රියාමාර්ග වඩාත් ලිහිල් කල යුතු වේ. උදා - භාණ්ඩ දැඩි සුපරික්ෂාවකට ලක්කරන අවස්ථාවන් සලකා බලමින් නිසි ක්‍රියාපටියකට අනුව මෙකී ක්‍රියාවලින් නිසි සීමාවන්ට යටත්ව ලිහිල්කරණයට ලක්කිරීම.
    • මුඛ ආවරණ,අත්වැසුම් සහ දෑත් සනීපාරක්ෂක වැනි සෞඛ්‍ය ආරක්ෂාවට අත්‍යවශ්‍ය භාණ්ඩ වලට ඇති ඉල්ලුමට සරිලන සැපයුමක් තහවුරු කිරීම සඳහා මෙම භාණ්ඩ රට තුළ නිපදවීමට සහයදීම ප්‍රමුඛතාවයක් ලෙස සලකා කටයුතු කිරීම. ඒ අනුව මෙකී භාණ්ඩ රට තුළ නිපදවීමට අවශ්‍ය කරන අමුද්‍රව්‍ය ආනයනයට අවශ්‍ය කරන බලපත්‍ර ලිහිල් කිරීමට නිර්දේශ කෙරේ.
    • මුඛ ආවරණ, අත්වැසුම් සහ උෂ්ණත්වමාන භාවිතා කිරීම ඇතුලු සෞඛ්‍ය ආරක්ෂව තහවුරු කරන ක්‍රියාමාර්ගයන් අනිවාර්ය කරමින් අත්‍යවශ්‍ය සේවාවල (සෞඛ්‍ය අංශ, ඖෂධාල සහ සිල්ලර වෙළඳසැල්) නියැලෙන සේවකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට කටයුතු කිරීම.
    • වෛරසය පැතිරයාම සහ එය වැළැක්වීමට ගත් ක්‍රියාමාර්ග හේතුවෙන් දැඩි ලෙස අහිතකර බලපෑමට ලක්ව ඇති සංචාරක සහ ඉදිකිරීම් කර්මාන්තය වැනි අංශ සඳහා කෙටිකාලීන කාරක ප්‍රාග්ධනයන් ලබාදීමට බැංකු සමඟ සාකච්ඡා කිරීම. මෙසේ කෙටි කාලීන කාරක ප්‍රාග්ධනයන් ලබාදීම හරහා එකී ක්ෂේත්‍රවල රැකියාවල නියුතුවන්නන්ට නිසි වේලාවට වැටුප් ලැබෙන වග තහවුරු කළ හැකිය. මෙසේ ලබාදෙන කාරක ප්‍රාග්ධන ප්‍රමාණය සහ සීමාවන් COVID-19 හේතුවෙන් ව්‍යාපාරයට සිදුවූ පාඩු සැලකිල්ලට ගෙන කර තීරණය කළ හැකිය. මෙම කාරක ප්‍රාග්ධන ණය යම් කාලසීමාවකට යටත් විය යුතු අතර ඒ හරහා මූල්‍ය අංශයට හෝ රටේ මූල්‍ය තත්වයට අහිතකර බලපෑමක් එල්ල නොවිය යුතුය.
    • අහිතකර බලපෑමකට ලක්වූ කර්මාන්තයන් විසින් සිදුකරනු ලබන සේවක අර්ථසාධක අරමුදල (EPF) සහ සේවා නියුක්තිකයන්ගේ භාරකාර අරමුදල (ETF) ගෙවීම් සඳහා මාස තුනක සමාකාලයක් ලබාදීම.
    • දැනට ශ්‍රී ලංකාවේ සිටින සංචාරකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම. සංචාරක කර්මාන්තය හා සම්බන්ධ ආයතන මේ සඳහා අවධානය යොමුකොට කටයුතු කල යුතු අතර සංචාරක ගමනාන්තයක් වශයෙන් ලංකාවට ඇති කීර්තිනාමය තහවුරු කිරීමට මෙය ඉතා වැදගත් වේ.

     

    කෙටි කාලීන ක්‍රියාමාර්ග

    • වෛරසයට අදාල පරීක්ෂණ සහ ප්‍රතිකාර කිරීම් කිරීම සම්බන්ධයෙන් වන රජයේ ප්‍රතිපත්තිය සහ පරීක්ෂණ කිරීමට අවශ්‍ය වන බලපත්‍ර හා සුදුසුකම් පිළිබඳ දැනුවත් කිරීම. මේ හරහා අවශ්‍ය වූවොත් පෞද්ගලික සෞඛ්‍ය සේවා අංශයට රටට අවශ්‍ය කරන සහය ලබාදීම වඩාත් පහසු කරනු ඇත.
    • රජය විසින් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරයන්ට ලබාදී තිබූ ණය සහන පැකේජය, වෛරසය නිසා බලපෑමට ලක්වූ ව්‍යාපාර වලට ලබාදීම පිළිබඳව සලකා බැලීම. මෙම පැකේජය වාර්ෂික ආදායම රුපියල් මිලියන 750 ට අඩු ආයතන වෙත ලබාදුන් අතර පෙබරවාර් 29 ඊට ඉල්ලුම් කළ හැකි අවසාන දිනය විය.
    • වෛරසය නිසා දැඩි අහිතකර බලපෑමට ලක්ව ඇති අන්තර්ජාතික වෙළඳ කටයුතු සාර්ථකව ක්‍රියාත්මක කරගැනීම සඳහා විදේශ තානාපති කාර්යාලවල සහය ලබාගැනීම. කොරෝනා වෛරසය හේතුවෙන් චීනය වැනි රටවලින් කරන ආනයන සීමා වීම නිසා සිදුවූ බලපෑම මඟහරවා ගැනීමට විකල්ප රටවලින් භාණ්ඩ ආනයනය කරගැනීමට ඇති අවස්ථාවන් පිළිබඳව විදේශ තානාපති කාර්යාල වලින් විමසා බැලීම. එමෙන්ම අනෙකුත් රටවල වරාය වල සිරවී ඇති ලාංකීය අපනයන වෙළඳපල වෙත මුදාහැරීම සදහා නිසි සහයෝගය ලබාගැනීම.
    • ගුවන් මගින් සිදුකරන භාණ්ඩ ප්‍රවාහනය ඉහළ දැමීමට (විශේෂ ගුවන්වාර යොදාගැනීම) අවශ්‍ය වන අතර ඒ හරහා ඉහළ යන ආනයනික අමුද්‍රව්‍ය ඉල්ලුම සපුරාලීමට හැකිවනු ඇත.
    • පහළ යන ගෝලීය බොරතෙල් මිලේ වාසි ලබාගැනීම සඳහා බොරතෙල් මිලදී ගැනීමේදී උපක්‍රමශීලීව කටයුතු කිරීම. පහළ යන බොරතෙල් මිලේ වාසිය ඉලක්කගත පාරිභෝගිකයන්ට සහ ඉලක්කගත ආර්ථික ක්‍රියාවන්ට සහය දීමට යොදාගත හැකිය. මේ ආකාරයේ ක්‍රියාමාර්ග හරහා අඩු ආදායම් ලාභී ජනතාවට මෙන්ම වෛරසය හරහා දැඩි බලපෑමට ලක්වූ ක්ෂේත්‍රවල ව්‍යාපාරයන්හි (වි‍ශේෂයෙන්ම සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර) මූල්‍ය බර අවම වනු ඇත.
    • දරිද්‍රතාවය දුරලීම සහ ජීවනතත්වය උසස්කිරීම සම්බන්ධයෙන් පත්කරන ලද කාර්යසාධන බලකායේ කටයුතු කඩිනම් කිරීම. මේ යටතේ COVID-19 හේතුවෙන් අහිතකර බලපෑමට ලක්වූ අඩු ආදායම් ලාභීන් සහ ස්වයං රුකියා වල නියුතු වන්නන් (මේ කාණ්ඩ දෙකට අයත් වන්නන් 2019 තුන්වන කාර්තුවේ ශ්‍රම බලකායෙන් 32% වේ) ආවරණය වන පරිදි ක්‍රියාමාර්ග ගැනීම අවශ්‍ය වේ.

     

    මධ්‍ය කාලීන ක්‍රියාමාර්ග  

    • COVID-19 හේතුවෙන් අපනයන වෙළඳපලට සිදුවිය හැකි අහිතකර බලපෑම පිළිබදව සාකච්ඡා කිරීමට සහ එකී බලපෑම අවම කිරීමට අවශ්‍ය උපායමාර්ග සකස් කිරීමට සෑම කර්මාන්තයක්ම නියෝජනය වන පරිදි සහභාගීත්වයක් ඇති කමිටුවක් පත් කිරීම. මේ අවස්ථාවේ ඉතාම අවස්ථානෝචිතව ක්‍රියාකිරීම හරහා වෛරසය නිසා සැපයුම් දාමයන් විවිධාංගීකරණය කරන සමාගම් ආකර්ෂණය කර ගනිමින් අපනයන වර්ධනයට ඇති අවස්ථා පිළිබඳවද කමිටුව විසින් සාකච්ඡා කළ යුතුය.
    • බහුපාර්ශවීය ජාත්‍යන්තර සංවිධාන මගින් COVID-19 නිසා ඇතිවන ආර්ථික බලපෑම පාලනය කිරීමට ලබාදෙන මූල්‍යමය ආධාර පිළිබඳව සැලකිලිමත් වීම සහ එකී ආධාර ලබාගනීමට කටයුතු කිරීම.
    • ලෝක බැංකු ආධාර - ආර්ථිකයට ඇතිවන බලපෑම අවම කිරීම සහ සැපයුම් දාමයන් වැඩිදියුණු කිරීම සඳහා ආධාර ලබාගත හැක.
    • ජාත්‍යන්තර මූල්‍ය අරමුදල - මූල්‍ය වෙළඳපලේ තත්වය සහ බාහිර ආර්ථික තත්වයන්ගේ අහිතකර බලපෑමක් එල්ලකිරීම හේතු කොටගෙනෙ ගෙවුම් ශේෂ අර්බුදයකට මුහුණදිය හැක. COVID-19 වැනි හදිසි අවස්ථාවල රටවලට සහය වීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රතිපදාන වෙන්කොට ඇත.
    • මාසයකට අතිකාල සේවයේ නියත විය හැකි උපරිම පැය ගණන වර්තමානයේ ඇති පැය 60 සිට පැය 80-90 දක්වා ඉහළ දැමීම. මෙහිදී අමුද්‍රව්‍ය ලබාගැනීමෙ අපහසුතාවයන් නිසා බලපෑමට ලක්වූ ඇඟලුම් කර්මාන්තය වැනි ක්ෂේත්‍ර වල නිෂ්පාදන කටයුතු නුදුරු අනාගතයේදී ඉහළ යනු ඇතැයි අපේක්ෂා කරන අතර මෙවැනි මැදිහත් වීම් වලින් ඒ සඳහා අවශ්‍ය සහය ලැබෙනු ඇත.

    ඉහත සඳහන් ක්‍රියාමාර්ග අනුගමනය කිරීම, COVID-19 වෛරසය සීඝ්‍රයෙන් පැතිරීම වැළැක්වීමට මෙන්ම ඉදිරි මාස කීපය තුල ආර්ථිකය ස්ථාවර කිරීමටද උපකාරි වනු ඇත.