රුපියල මත පීඩනය තවදුරටත්. ඩොලරයේ විකුණුම් මිල රු. 192 ආසන්නයේ

    March, 27, 2020

    ගෝලීය අධිවසංගත තත්ත්වයක් බවට පත්ව ඇති කොරෝනා වෛරස් ව්‍යාප්තිය, මේ වන විට ශ්‍රී ලංකා රුපියල ද ක්‍රමයෙන් පීඩනයට ලක්කරමින් සිටී. ඒ අනුව විනිමය මත බලපා ඇති පීඩනය තවදුරටත් තීව්‍ර කරමින් ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාත සටහටනට අනුව, එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රු. 187.10 ක් හා විකුණුම් මිල රු. 191.99 ක් ලෙසින් අද (27) දින සටහන් විය.

    මේ අතර අද (27) දින එක්සත් ජනපද ඩොලරයේ නිරූපිත එතැන් විනිමය අනුපාතිකය (Indicative US Dollar SPOT Exchange rate) සටහන් වූයේ රුපියල් 189.25 ක් ලෙසයි.

    මෙම තත්ත්වය තුල පසුගිය සතියේ දී ශ්‍රී ලංකා මහ බැංකුව විසින් විනිමය මත ඇතිවන පීඩනය ලිහිල් කිරීම සඳහා මෝටර් රථ හා අත්‍යාවශ්‍ය නොවන භාණ්ඩ ආනයනය අත්හිටුවීමට පියවර ගනු ලැබීය.

    ඒ අනුව කොරෝනා වසංගතය පැතිර යෑම හේතුවෙන් විනිමය අනුපාතිකය මත ඇති වන පීඩනය ලිහිල් කිරීම සහ මූල්‍ය වෙළෙඳපොළ තුළ ඇති විය හැකි නොසන්සුන්කාරීත්වය වැළැක්වීම සඳහා 1949 අංක 58 දරන මුදල් නීති පනතේ, 1988 අංක 30 දරන බැංකු පනතේ සහ 2017 අංක 12 දරන විදේශ විනිමය පනතේ විධිවිධාන ප්‍රකාර ව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ක්‍රියාමාර්ග ගණනාවක් හඳුන්වා දී ඇත.

    ඒ අනුව වහා ම ක්‍රියාත්මක වන පරිදි ඉදිරි මාස තුනක කාලය තුළ බලපත්‍රලාභී වාණිජ බැංකු සහ ජාතික ඉතිරි කිරීමේ බැංකුව පහත සඳහන් ක්‍රියාමාර්ගවලට අනුගත විය යුතු ය.

    1. බැංකු පනත යටතේ නිකුත් කර ඇති 2020 අංක 01 දරන විධාන මගින් විශේෂයෙන් ඉවත් කර ඇති මෝටර් වාහන හැර සියලු ම වර්ගයේ මෝටර් වාහන ණයවර ලිපි යටතේ ආනයනය කිරීම  සඳහා පහසුකම් සැලසීම අත්හිටුවීම
    2. බැංකු පනත යටතේ නිකුත් කර ඇති 2020 අංක 01 දරන විධානයෙහි සඳහන් කර ඇති අත්‍යවශ්‍ය නො වන භාණ්ඩ ණයවර ලිපි, ප්‍රතිග්‍රහණය මත ලියවිලි ලබා දීමේ කොන්දේසි මත සහ පෙර ගෙවීම් (මුදල් අත්තිකාරම්) ක්‍රමය යටතේ ආනයනය කිරීම සඳහා පහසුකම් සැලසීම අත්හිටුවීම
    3. ශ්‍රී ලංකාවේ බලපත්‍රලාභී බැංකු විසින් ශ්‍රී ලංකා ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර මිල දී ගැනීම අත්හිටුවීම

    මීට අමතර ව, විදේශ විනිමය හුවමාරු  කටයුතු සඳහා බලයලත් වෙළෙඳුන් විසින් ගමන් වියදම් සඳහා නිකුත් කළ හැකි විදේශ මුදල් ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් 5000 ක (හෝ ඒ හා සමාන වෙනත් විදේශ ව්‍යවහාර මුදල් ප්‍රමාණයක) උපරිමයක්ට යටත් විය යුතු ය.

    කොරෝනා වසංගතය පැතිර යෑම මධ්‍යයේ වුව ද, වෙළෙඳපොළ තුළ සුමට ක්‍රියාකාරිත්වයක් සහ වෙළෙඳපොළ විශ්වාසය පවත්වා ගැනීම සඳහා ප්‍රමාණවත් ද්‍රවශීලතාවක් පවත්වා ගැනීම තහවුරු කරන අතර ම, මහ බැංකුව විසින් වෙළෙඳපොළ ප්‍රවණතා අඛණ්ඩ ව අධීක්ෂණය කරන අතර, අවශ්‍ය ක්‍රියාමාර්ග ඉදිරියටත් ගනු ලබනු ඇත.