මහ බැංකුව ප්‍රතිපත්ති පොලී අනුපාතික තවදුරටත් අඩු කරයි

    April, 3, 2020

    ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය අද (2020 අප්‍රේල් 03) දින, ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) පිළිවෙලින් සියයට 6.00 සහ සියයට 7.00 දක්වා පදනම් අංක 25කින් 2020 අප්‍රේල් මස 03 වැනි දින ව්‍යාපාර කටයුතු අවසාන වන වේලාවේ සිට බලපැවැත්වෙන පරිදි අඩු කිරීමට තීරණය කළේය.

    මෙම තීරණය මගින් වෙළෙඳපොළ තත්ත්වයන් ලිහිල් කිරීම සඳහා දැනටමත් ගෙන ඇති ක්‍රියාමාර්ග සඳහා සහායක් ලැබෙන අතර, කොරෝනා වෛරස (COVID-19) ගෝලීය වසංගතය මගින් සහ එය රට තුළ තවදුරටත් පැතිරයාම පාලනය කිරීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග මගින් බලපෑමට ලක් වූ ව්‍යාපාර සහ පුද්ගලයන් වෙත දේශීය මූල්‍ය වෙළෙඳපොළ මගින් තවදුරටත් සහන සැලසීමට අවකාශ ලැබෙනු ඇත.

    සටහන: පෙර සැලසුම් කර තිබූ පරිදි 2020 අප්‍රේල් මස 09 වන දිනට නියමිත මුදල් ප්‍රතිපත්ති නිවේදනය සිදු නො වේ. එහෙත්, මුදල් මණ්ඩලය විසින් ආර්ථික හා වෙළෙඳපොළ ප්‍රවණතා සලකා බලා ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය ඕනෑ ම විටෙක දී විවරණය කර අවශ්‍ය වෙනස් කිරීම් අදාළ පරිදි සිදු කරනු ඇත.