කොළඹට එන MSC Magnifica මගී නැවේ සිටින ශ්‍රී ලාංකික සූපවේදියෙක් රටට ඇතුල් වෙන්න දෙන්නැයි අවසර ඉල්ලයි

    April, 6, 2020

    ලොව අතිසුඛෝපභෝගී දැවැන්ත මගී නෞකාවක් වන MSC Magnifica නෞකාව අද (06) දින කොළඹ වරායට සේන්දු වීමට නියමිතය. නෞකාවට අවශ්‍ය සැපයුම් ලබා ගැනීම සඳහා මෙම මගී නෞකාව කොළඹ වරායට පැමිණෙනු ඇත.

    කෙසේවෙතත් කොරෝනා වෛරස් තත්ත්වය හේතුවෙන් මේ වන විට කොළඹ වරායට පැමිණෙන මගී නෞකාවල මගීන්ට, මෙරටට ගොඩ බැසීමට අවසර හිමිවන්නේ නැත. මෙවැනි තත්ත්වයක් තුළ නෞකාවේ සිටින ශ්‍රී ලාංකික සූපවේදියෙකු වන අනුර හේරත් විසින් අන්තර්ජාලය වෙත වීඩියෝවක් මුදා හරිමින් ජනාධිපතිතුමන්ගෙන් සහ අගමැතිතුමන්ගෙන් ඉල්ලා සිටින්නේ තමන්ට ශ්‍රී ලංකාවට තුළට ඇතුළත් වීමට අවසර ලබා දෙන ලෙසයි.

    මෙලෙස සැපයුම් ලබා ගැනීමෙන් පසු MSC Magnifica නෞකාව නැවත යුරෝපය බලා ගමන් අරඹන අතර මෙහිදී අනුර හේරත් වැඩිදුරටත් පවසන්නේ එලෙස යුරෝපයට ගිය පසු ගමන්ට නැවත ශ්‍රී ලංකාව බලා පැමිණීම ඉතාමත් අපහසු කටයුත්තක් වනු ඇති බවයි.

    “මං වැඩ කරන්නේ MSC Magnifica  කියන නෞකාවේ. ලෝකයේ කිසිදු රටක්  මේ නෞකාව වරායකට ලබා ගැනීමට කටයුතු නොකිරීම නිසා මෙම සමාගමේ මව් ශාඛාව පිහිටා තිබෙන ඉතාලිය සඳහා නෞකාව පිටත් වීමට ගමන් ආරම්භ කර තිබෙනවා මේ වෙනකොට. දැනට කිසිදු වෛරස තත්ත්වයක් මෙහි මතු වී නැහැ. මෙහි සැපයුම් ලබා ගැනීම සඳහා අප්‍රේල් මස 06 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණෙනවා පැය 03 ක කාලයක් සඳහා.“

    “එහිදී මම ශ්‍රී ලංකාවට පැමිණීම සඳහා ගරු ජනාධිපතිතුමාගෙනුත්, අගමැතිතුමාගෙනුත් සහාය බලාපොරාත්තු වෙනවා. මොකද අප නෞකාවෙන් මට ලංකාවට එන්න බැරි වුණොත් නැවත යුරෝපයට ගියාට පස්සේ එන එක ඉතාම අපහසු වෙනවා. මම ඉතා කාරුණිකව ඉල්ලා සිටිනවා, හැකියාවක් තිබෙනවා නම් ශ්‍රී ලංකා වරාය තුළින් මාව ලබා ගැනීමට කටයුතු කරන ලෙස“, යනුවෙන් මොහු සිය ඉල්ලීම ඉදිරිපත් කර ඇත.

    MSC Magnifica නෞකාව පසුගිය ජනවාරි 04 දින ඉතාලියේ රෝමයේ සිට ගමන් අරඹන ලද අතිසුඛෝපභෝගී මගී නෞකාවකි. එය දින 116 ක චාරිකාවකි. එම චාරිකාව නිමා කරන්නට සැලසුම් කර තිබුණේ අප්‍රේල් 29 වන දිනටය. මෙම නෞකා ගමන අතරවාරයේ දී අප්‍රේල් 12 වන දින පෙරවරු 8.00 සිට පස්වරු 6.00 දක්වා කාලය තුළ කොළඹ වරායේ නැංගුරම්ලෑමට කලින් සැලසුම් කර තිබුණද , මේ වන විට වෙනත් කිසිදු වරායක් විසින් මෙම නෞකාව භාර නොගැනීම හේතුවෙන් සැලසුම් කර තිබුණු දිනයට වඩා දින 06කට පෙර කොළඹ වරායට පැමිණීමට එයට සිදුව ඇත.

    MSC Magnifica නෞකාවේ කලින් සැලසුම් කර තිබූ ගමන් මාර්ගය ඉතාලියේ සිට ප්‍රංශය, ස්පාඤ්ඤය, පෘතුගාලය, බ්‍රසීලය, ආර්ජන්ටිනාව, උරුගුවේ, චිලී, පේරු, නවසීලන්තය, ඕස්ට්‍රේලියාව, පැපුවා නිව්ගිනියාව, ඉන්දුනීසියාව, සිංගප්පූරුව, මැලේසියාව, ඉන්දියාව, ශ්‍රී ලංකාව, ඕමානය, ජෝර්දාන්, ඊජිප්තුව හරහා නැවත ඉතාලිය දක්වා වේ.

    මගීන් 2518 - 3017 ප්‍රමාණයකට සේවා සලසන මෙම නෞකාවේ කාර්ය මණ්ඩලය 1038 කි.