පාකිස්තානයේ අතරමංව සිටි සිසුන් 113 ක් ශ්‍රීලංකන් යානයකින් ශ්‍රී ලංකාවට

    April, 21, 2020

    ශ්‍රී ලංකාවට පැමිණීමට බලාපොරොත්තුවෙන් සිටින ශ්‍රී ලාංකික සිසුන් වෙනුවෙන් ශ්‍රීලංකන් ගුවන් සේවය ඉන්දියාවේ අමරිට්සර්, කොයිම්බතූර් සහ පාකිස්තානයේ කරච්චි, ලාහෝර් මෙන්ම නේපාලයේ කත්මණ්ඩු යන ගමනාන්ත වෙත විශේෂ ගුවන් ගමන් ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා ඇත. COVID 19 වසංගතය ව්‍යාප්ත වීමත් සමග පනවන ලද සංචාරක සීමාවන් හේතුවෙන් විදේශයන්හි අතරමං වී සිටින ශ්‍රී ලාංකිකයන් 433 දෙනෙකු මෙලෙස දිවයිනට රැගෙන ඒමට නියමිතව ඇත.

    ඒ අනුව අද (අප්‍රේල් 21) දින ලාහෝර් නුවර සිට ශ්‍රී ලාංකිකයින් 93 දෙනෙකු සහ කරච්චි නුවර සිට 20 දෙනෙකු යූඑල් 1206 ගුවන් යානයෙන් ආපසු ශ්‍රී ලංකාවට පැමිණීයෝය.

    මීට අමතරව අප්‍රේල් මස 23 වන දින තවත් මගීන් 101 ක් යූඑල් 146 ගුවන් යානයෙන් අමරිට්සර් සිට ආපසු මෙරටට පැමිණීමට නියමිතව සිටියි. තවත් විශේෂ ගුවන් ගමන් දෙකක්, එනම් අප්‍රේල් මස 24 වන දින, යූඑල් 194 ගුවන් යානයෙන් කොයිම්බතූර් සිට ශ්‍රී ලාංකිකයින් 117 ක් සහ යූඑල් 1425 දරන ගුවන් යානයෙන් කත්මන්ඩු සිට තවත් මගීන් 93 ක් ආපසු රැගෙන ඒමට සැලසුම් කර තිබේ.

    මෙම ප්‍රාන්තවල ඇති ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාල විසින් මෙම විශේෂ ගුවන් ගමන් ක්‍රියාත්මක කිරීමට අදාළ සිවිල් ගුවන් සේවා බලධාරීන්ගෙන් අවසර ලබාගෙන ඇත. මෙලෙස  ඔවුන් සියලු දෙනා ශ්‍රී ලංකාවට නැවත පැමිණි පසු අවශ්‍ය ක්‍රියා පටිපාටි සඳහා ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය බලධාරීන්, ත්‍රිවිධ හමුදාව සහ වෙනත් අදාළ ආයතනවල භාර දෙනු ලැබේ.

    විදේශ රටවල අතරමංව සිටින ශ්‍රී ලාංකික සිසුන් නැවත ගෙන්වා ගැනීමේ ශ්‍රී ලංකා රජයේ වැඩ සටහනේ කොටසක් ලෙස මෙම විශේෂ ගුවන් ගමන් ක්‍රියාත්මක වන අතර ඒවා විදේශ කටයුතු අමාත්‍යාංශයේ සහයෝගයෙන් සිදු කෙරේ. වසංගතයේ මුල් දිනවල වුහාන් හි සිරවී සිටි සිසුන් පිරිසක් ද ඇතුළුව රටවල් කිහිපයක අතරමංව සිටින බැතිමතුන් සහ සිසුන් දිවයිනට ගෙන ඒම සඳහා ගුවන් සමාගම මීට පෙර ද එවැනි ගුවන් ගමන් කිහිපයක් ක්‍රියාත්මක කළේය.