May, 6, 2020
COVID-19 අර්බුදය හේතුවන් දැඩි අසීරුතාවන්ට මුහුණපා සිටින සිල්ලර වෙළඳුන්ගෙන් අයකරන කල්බදු සහ කුලී මුදල් අඩු කරන ලෙස ශ්‍රී ලංකා සිල්ලර වෙළඳ හිමියන්ගේ සංගමය (SLRA), ගොඩනැගිලි හිමිකරුවන්ගෙන් ඉල්ලා සිටී. ශ්‍රී ලංකාවේ සංවිධානාත්මක සිල්ලර වෙළඳාම් ක්ෂේත්‍රය නියෝජනය කරන ප්‍රධාන සංගමය වන ශ්‍රී ලංකා සිල්ලර වෙළඳ හිමියන්ගේ සංගමය (SLRA) විසින් නිල නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියේ මෙම අර්බුදයට නිසා මූල්‍ය අපහසුතාවයන්ට මුහුණදී ඇති එම සංගමයේ සාමාජිකයින් සඳහා කල්බදු සහ කුලී අයකිරීම් අඩු කිරීම විශාල සහනයක් වනු ඇති බවයි.
COVID-19 හේතුවෙන් රට තුළ පවතින තත්වය මත බොහෝ සිල්ලර වෙළෙන්ඳන් පාඩු ලබන බැවින් SLRA සාමාජිකයින් විසින් බදු සහ කුලී පදනම මත ලබා ගත් දේපල සඳහා ඉදිරි මාස හයක කාලයක් සඳහා කුලී / කල්බදු අයකිරීමේදී 50% ක සහනයක් ලබා දෙන ලෙස, SLRA සභාපති සිදත් කොඩිකාර මහතා ගොඩනැගිලි හිමිකරුවන්ගෙන් ඉල්ලා සිටියේය.
“දැනට පවතින රට වසා දැමීමේ තත්වය (Lockdown) හේතුවෙන් සියලුම සිල්ලර වෙළඳුන් හට ඔවුන්ගේ අලෙවිසැල් ක්‍රියාත්මක කිරීමේ හැකියාව දැඩි ලෙස සීමා වී ඇත. මේ අනුව, සියලු සිල්ලර ආයතන හා අංශ වල ආදායම 85% කට වඩා අඩුවී ඇත. මෙම සැලකිය යුතු ආදායම පහත වැටීම හේතුවෙන් සියලුම සිල්ලර වෙළෙන්දන් හට පාඩු සිදුවී ඇති අතර මේ වන විට අපගේ සියලුම සාමාජිකයන් තම ව්‍යාපාර පවත්වාගෙන යාමට විශාල උත්සාහයක් දරමින් සිටී,” යනුවෙන් ඒ මහතා පවසා සිටියේය.
පවතින අභියෝග හමුවේ, සිල්ලර වෙළඳුන් හට තම මෙහෙයුම් වියදම් කපා හැරීමේ හදිසි අවශ්‍යතාවයක් ඇති අතර, මෙහෙයුම් වියදම් වලින් සැලකිය යුතු කොටසක් වන්නේ බදු කුලියයි.
“මෙමගින් ගොඩනැගිලි හිමිකරුවන්ට හෝ බදු දෙන්නන්ට ඇතිවිය හැකි බලපෑම සම්බන්ධයෙන් අපට වැටහීමක් තිබනවා. කෙසේ වෙතත්, මෙම ඉල්ලීම කරන්නේ ශ්‍රම බලකායෙන් 15% කට වඩා සේවය කරන කර්මාන්තයක් වන සිල්ලර කර්මාන්තයේ හදිසි අවශ්‍යතාවයන් සැලකිලිලට ගනිමිනි,” යනුවෙන් ඒ මහතා වැඩිදුරටත් පවසා සිටියේය.
SLRA දැනට සිල්ලර කර්මාන්තයේ අංශ 9 ක් නියෝජනය කරයි, එනම් සීඝ්‍රයෙන් අලෙවි වන පාරිභෝගික භාණ්ඩ (FMCG); ඇඳුම් පැළඳුම්, විලාසිතා සහ ස්වර්ණාභරණ; නිවාස; ගෘහස්ථ සහ පාරිභෝගික භාණ්ඩ; පාවහන් සහ උපාංග; විද්‍යුත් වාණිජකරණය (E-Commerce); සංචලතාව (Mobility); විනෝදාස්වාදය, අවන්හල් සහ ක්ෂණික සේවා අවන්හල් (QSR); සෞඛ්‍යාරක්ෂාව සහ සුවතාවය යන අංශයි.
Video Story