බිංදුවට වැටුණු ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ගැන ලොව ප්‍රමුඛ සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු කියූ කතාව

    May, 13, 2020

    ශ්‍රී ලංකාවට විදෙස් සංචාරකයින්ගේ පැමිණීම පිළිබඳ නවතම සංඛ්‍යාලේඛන ප්‍රකාශයට පත් කිරීමට ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පසුගිය දා පියවර ගෙන තිබුණි. එම සංඛ්‍යාලේඛන සටහනට අනුව පසුගිය අප්‍රේල් මාසයේ දී මෙරටට පැමිණි විදෙස් සංචාරකයින් සංඛ්‍යාව වාර්තා වන්නේ බිංදුවක් ලෙසිනි.

    කොවිඩ්-19 වෛරස් ව්‍යාප්තිය ගෝලීය වසංගත තත්ත්වයක් බවට පත්වීමත් සමඟ පසුගිය මාර්තු 18 දින සිට මෙරටට සංචාරකයින් පැමිණීම අත්හිටුවීමත් සමඟම සංඛ්‍යාලේඛනවල මෙලෙස බිංදුව සටහන් වීම නොවැළැක්විය හැකි තත්ත්වයක් බවට කලින් සිටම පුරෝකථනය කර තිබිණි. මෙම සංඛ්‍යා සටහනට අනුව 2020 වසරේ මුල් මාස 04 තුළ දී මෙරටට පැමිණි විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 507,311 ක් ලෙසින් සඳහන් වන අතර එය 2019 මුල් මාස 04 තුල පැමිණ තිබුණු 907,757 ක්වූ සංචාරකයින් ප්‍රමාණයට සාපේක්ෂව 44.1% ක පහළ යාමකි.

    කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය මෙලෙස ‘බිංදුවට වැටෙද්දී‘ මෙරට ජනතාවගේ ආගන්තුක සත්කාරත්වයෙහි විශිෂ්ටත්වය පිළිබඳ වීඩියෝවක් මුදා හැරීමට ලොව ප්‍රමුඛතම වීඩියෝ බ්ලොගර්වරයෙකු වන Nuseir Yassin ෙහවත් Nas විසින් කටයුතු කර ඇත. සිය Nas News ෆේස්බුක් පිටුවෙහි පළ කර ඇති මෙම වීඩියෝවෙන් පෙන්වා දී ඇත්තේ කොරෝනා වෛරසය ව්‍යාප්තියත් සමඟ ලොව බොහෝ ලක්ෂ සංඛ්‍යාත සංචාරකයින් ප්‍රමාණයක් තම මවු රට නොවන රටවල, මිල මුදල් ද නොමැතිව අසරණව, අතරමංව සිටින පසුබිමක, ශ්‍රී ලංකාවේ ඇල්ල ප්‍රදේශයේ එලෙස අතරමං වූ විදේශිකයින් 14 දෙනෙකු රැක බලා ගැනීමට ශ්‍රී ලාංකිකයින් විසින් කටයුතු කළ ආකාරයයි.

    “ඇත්ත වශයෙන්ම ශ්‍රී ලංකාව කියන්නේ පොහොසත් රටක් නෙමෙයි. එය සංවර්ධනය වෙමින් පවතින රටක්. ඔවුන්ගේ ආර්තිකයෙන් 12.5%ක් සමන්විත වන්නේ සංචාරක කර්මාන්තයෙන්. සංචාරක කර්මාන්තය ශ්‍රී ලංකාවේ ආර්ථිකයට ජීවය ලබා දුන්නත් දැන් එය අකර්මණය වෙලා“, Nas සිය වීඩියෝවෙන් පෙන්වා දෙනු ලබයි. මෙය සංචාරකයින් 14 දෙනෙකු පිළිබඳ කතාවක් පමණක්ම නොවන බව අවධාරණය කරන ඔහු, අතරමං වූ සංචාරකයින් පිළිබඳ සොයැබැලීමට දියත් කරන ලද Tourism Disaster Monitoring and Hosting වැඩසටහන ද මෙහිදී අගය කර සිටී.

    මෙම සම්පූර්ණ වීඩියෝව පහතින් නැරඹිය හැති අතර මෙවැනි සමාජ මාධ්‍ය ජාල ක්‍රියාකාරීන්ගේ ස්වාධීන අදහස් ඉදිරියේ දී මෙරට සංචාරක කර්මාන්තය යළි ගොඩනැංවීම සඳහා බෙහෙවින් උපකාරී වනු ඇත.