May, 14, 2020
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්.ඩී. ලක්ෂ්මන් මහතා ප්රමුඛ නියෝජ්‍ය අධිපතිවරු, රාජ්‍ය, පෞද්ගලික දෙඅංශයේ බැංකු සභාපතිවරු සහ ප්‍රධාන විධායක නිලධාරීන් සමඟ හමුවක් අද ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණ. එහිදී COVID- 19 වසංගතය නිසා ඇද වැටුණු ආර්ථිකය නැවත ශක්තිමත්ව ගොඩනැගීම සඳහා සාම්ප්‍රදායික චින්තනයෙන් සහ වැඩරාමුවෙන් බැහැරව දායක වන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බැංකු ප්‍රධානීන්ගෙන් ඉල්ලා තිබේ. එසේම වාහන සහ ප්ලාස්ටික භාණ්ඩ ආදිය ආනයනය සඳහා ණය දී පහසුවෙන් ලාභ උපයා ගැනීමේ රටාව තවදුරටත් පවත්වාගෙන නොයා යුතු බව ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කර ඇත.
මේ පිළිබඳව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ෆේස්බුක් පිටුවෙහි තබන ලද සටහනක් පහතින් දැක්වේ.
පශ්චාත් කොරෝනා සමයේ ආර්ථික වර්ධනය සහ සංවර්ධනය උදෙසා සම්පාදිත වැඩසටහනට බැංකු ක්ෂේත්රය හවුල් කර ගැනීම සහ එහිදී බැංකු ක්ෂේත්රයට මතුව ඇති ගැටළු සාකච්ඡා කිරීම පිණිස මහබැංකු අධිපති මහාචාර්ය ඩබ්.ඩී. ලක්ෂ්මන් මහතා ප්රමුඛ නියෝජ්‍ය අධිපතිවරු, රාජ්‍ය, පෞද්ගලික දෙඅංශයේ බැංකු සභාපතිවරු සහ ප්‍රධාන විධායක නිලධාරීන් සමඟ අද (14) ජනාධිපති කාර්යාලයේ පැවති හමුවේ දී COVID- 19 වසංගතය නිසා ඇද වැටුණු ආර්ථිකය නැවත ශක්තිමත්ව ගොඩනැගීම සඳහා සාම්ප්‍රදායික චින්තනයෙන් සහ වැඩරාමුවෙන් බැහැරව දායක වන්නැයි මම බැංකු ක්ෂේත්රයෙන් ඉල්ලා සිටියෙමි.
කොරෝනා වෛරසය පාලනය කිරීමට අපට හැකිවූ අතර දැන් තිබෙන ලොකුම අභියෝගය කඩා වැටුණු ආර්ථිකය ගොඩගැනීමයි. ඇඟළුම් කර්මාන්තය යථා තත්වයට පත්වන්නට තව බොහෝ කාලයක් ගතවනු ඇත. සංචාරක ව්‍යාපාරයේ සිදුව ඇති බරපතළ පසුබැස්ම අහිමි වූ ආදායම සහ රැකියා සංඛ්‍යාව ඉතා විශාලය. පැරණි ආනයන ක්‍රමය තවදුරටත් ගෙන යනු වෙනුවට අප නිෂ්පාදන ආර්ථිකයක් වෙත යොමු විය යුතුය. ඒ සඳහා සක්‍රීය ලෙස දායකවීමට බැංකු ක්ෂේත්රයට හැකි බව මම ඔවුනට පෙන්වා දුන්නෙමි.
කොරෝනා උවදුර ජය ගැනීම සඳහා සෞඛ්‍ය අංශය ඇතුළු පාලන තන්ත්රයේ සෑම පාර්ශ්වයක්ම මහත් කැපවීමෙන් වැඩකළ අතර මම බැංකු ක්ෂේත්රයෙන්ද එවැනිම දායකත්වයක් අපේක්ෂා කරමි.
දැන් ප්‍රමුඛතම අවශ්‍යතාව නිෂ්පාදන ආර්ථිකය ශක්තිමත් කිරීමයි. ඒ සඳහා ආයෝජනය කළ හැකි ක්ෂේත්‍ර රැසක් පවතී. තේ වගාව ඇතුළු වැවිලි කර්මාන්තය, කුඩා සහ මධ්‍ය පරිමාණ නිෂ්පාදන, නිවාස සහ වෙනත් ඉදිකිරීම් කෘෂිකර්මය ආශ්රිත නිෂ්පාදන වටිනාකම එකතු කළ කුරුඳු, ගම්මිරිස් වැනි බෝග වර්ග ඉන් කිහිපයකි. මේ ක්ෂේත්රවල ව්‍යාපාර ආරම්භ කිරීම සඳහා පහසු කොන්දේසි යටතේ ණය සපයන්නැයි මම බැංකු ප්‍රජාවගෙන් ඉල්ලා සිටියෙමි.
වාහන සහ ප්ලාස්ටික භාණ්ඩ ආදිය ආනයනය සඳහා ණය දී පහසුවෙන් ලාභ උපයා ගැනීමේ රටාව තවදුරටත් පවත්වාගෙන නොයා යුතුයි. වැඩිපුර ණය සම්පාදනය කළ යුත්තේ අලුතින් හඳුනාගත් ප්‍රමුඛතා සඳහා වන අතර එසේ නොමැතිව ජනතාවටත්, ව්‍යාපාරිකයන්ටත් පැවැත්මක් නැත. ගොවීන් වැඩි පොළියට වෙළෙඳුන්ගෙන් ණය ගත් විට ඔවුන් වෙළෙඳුන්ගේ ග්‍රහණයට සහ සූරාකෑමට ලක් වේ. එය හැම අතින්ම හානිකරය. මහ ව්‍යාපාරිකයින්ට සේම සුළු ව්‍යාපාරිකයන්ට සහ ගොවීන්ටත් බැංකු උදව් කළයුතුයි. එමෙන්ම ණය දුන් පසු ඉන් ප්‍රයෝජන ගන්නා ආකාරය නිරතුරුව විමර්ශනය කිරීම ඉතා වැදගත් වේ. අතීතයේ දී බැංකුවලින් ණය ගෙන නොගෙවා පැහැර හැර ඇති වැඩිදෙනා දුප්පතුන් නොව ධනවතුන් බව මා ඔවුන්ට පෙන්වා දුන් අතර මධ්‍යම පාන්තිකයන් උදෙසා නිවාස ඉදිකොට සහන මිලට ඒවා බෙදාදීමට සිය ප්‍රතිපත්ති ප්රකාශනයෙන් ප්‍රතිඥා දුන් බව මම සිහිපත් කළෙමි. එමෙන්ම මධ්‍යම පාන්තිකයනට අඩු පොළීයට ණය දීමේ වැදගත්කම මම ඔවුන්ට අවධාරණය කළෙමි.
සාකච්ඡාවට සහභාගී වූ බැංකු නියෝජිතයෝ ආර්ථික පුනර්ජීවනය සඳහා රජය ගෙන යන වැඩපිළිවෙළට සහයෝගය පළ කළහ. ඔවුන් බැංකු ක්ෂේත්රය මුහුණපාන ගැටලු කිහිපයක් ඉදිරිපත් කළ අතර, මහ බැංකුව සමග සාකච්ඡා කොට ඒවා නිරාකරණය කර ගැනීමට එකඟත්වය පළ විය.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා සහ ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා ද සාකච්ඡාවට එක්ව සිටියහ.
Video Story