2011 දී ‘ද ෆිනෑන්ස්’ කොටස් පරිවර්තනයෙන් තැන්පතු අහිමිවූවන්ටත් වන්දි

    June, 9, 2020

    2011 වසරේ දී සිය තැන්පතු මුදල් සමාගමේ නිෂ්ඡන්ද කොටස් බවට පරිවර්තනය කිරීම හේතුවෙන් අගතියට පත් ‘ද ෆිනෑන්ස්‘ සමාගමේ තැන්පතු හිමියන් හට රු. ලක්ෂ 6 ක උපරිමයකට යටත්ව ගෙවීම් කිරීමට තීරණය වී තිබේ. ද ෆිනෑන්ස් කම්පැනි පීඑල්සී සමාගම් ලේකම් විසින් මේ බව කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත දැනුම් දී සිටී.

    ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් නිකුත් කළ නියෝගයන්ට අනුව 2010 අංක 01 දරණ ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ සහ ද්‍රවශීලතා ආධාරක යෝජනා ක්‍රමය යටතේ සිදුකරන ලද සංශෝධනයන් ප්‍රකාරව, ද ෆිනෑන්ස් සමාගමේ තැන්පතුකරුවන්ව සිට සිය තැන්පතු මුදල්, සමාගමේ නිෂ්ඡන්ද කොටස් බවට පරිවර්තනය කිරීම හේතුවෙන් අගතියට පත් වූ අය වෙත මෙසේ ගෙවීම් කරනු ඇත.

    2011 වසරේ දී මෙලෙස සමාගමේ තැන්පතුකරුවන්ගේ තැන්පත් මුදල්, ඡන්ද බලය අහිමි සාමාන්‍ය කොටස් බවට පරිවර්තනය කිරීම සඳහා කටයුතු යෙදුණු අතර එහිදී එක් කොටසක් රු. 20 බැගින් නිකුත් කෙරිණි. කෙසේ වෙතත් නිකුත් කළ දිනයේ සිට මේ දක්වා කිසිදු අවස්ථාවක එම කොටසක මිල රු. 20 සීමාව ඉක්මවා නොගිය අතර අවසානයේ දී සත 40 ක් තරම් ඉතා පහළ මිලකට ‘ද ෆිනෑන්ස්‘ සමාගමේ ඡන්ද බලය අහිමි කොටස් ගනුදෙනු විය. මේ හේතුවෙන් එකී තැන්පත්කරුවන්ට සිය තැන්පතු මුදල් මෙන්ම ඒවාට ලැබුණු පොළිය ද අහිමි වී ගිය අතර 2011 වසරේ සිට කිසිදු ප්‍රතිලාභයක් අත්නොවීය.

    ද ෆිනෑන්ස් සමාගමේ නිෂ්ඡන්ද කොටස් හිමියන්ගේ ලැයිස්තුවේ පළමු 20 දෙනා පහත දැක්වේ. සමස්ත නිෂ්ඡන්ද කොටස්වලින් 17.38%ක් පමණක් පළමු කොටස් හිමියන් 20 දෙනා අතර බෙදී යෑමෙන් පෙනී යන්නේ 82.62% ක් තරම් විශාල පංගුවක් සමාගමේ තැන්පතුකරුවන්ව සිට තම තැන්පතු මුදල් කොටස් බවට පරිවර්තනය කළ පුද්ගලයින් ඇතුළු සුළු පරිමාණ කොටස්කරුවන් අත තිබෙන බවයි.

    කෙසේ වෙතත් ද්වීතියික කොටස් වෙළෙඳපොළ ගනුදෙනු හරහා නිෂ්ඡන්ද කොටස් හිමියන් බවට පත් වූ ආයෝජකයින්ට මෙමගින් ගෙවීම් කිරීමක් සිදුවන්නේ නැත.