මහ බැංකුවට යටත් නොවන ආයතන නියාමනයට ඉදිරියේ දී වෙනම අධිකාරියක්

    June, 16, 2020

    කල්බදු ණය වාරික ගෙවීම සම්බන්ධ ගැටළුවක් හේතුවෙන් පසුගිය දා ඝාතනයට ලක් වූ සුනිල් ජයවර්ධන මහතාගේ සිද්ධියත් සමඟින් රට තුළ මේ වන විට මෙම ගැටළුව සම්බන්ධයෙන් පුළුල් කතිකාවතක් නිර්මාණය වී ඇත. මෙහිදී සිද්ධියට අදාළ චන්විල් ඉන්වෙස්ට්මන්ට්ස් නම් ආයතනය කුලී සින්නක්කර ව්‍යාපාරයේ යෙදෙන ආයතනයක් බවත් එවැනි ආයතන ශ්‍රී ලංකා මහ බැංකුවේ නියාමනය යටතට නොවැටෙන බවත් අද දෙරණ වෙත විශේෂ සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙමින් ශ්‍රී ලංකා මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්.ඩී. ලක්ෂ්මන් මහතා කියා සිටියේය. කෙසේ වෙතත් මහ බැංකු අධිපතිවරයා මෙහිදී කියා සිටියේ, ඉදිරියේ දී මෙවැනි ආයතන නියාමනය සඳහා මහ බැංකුවෙන් වෙන්වුණු වෙනම අධිකාරියක් පිහිටුවනු ලබන බවත් ඊට අදාළ “ක්ෂුද්‍ර මූල්‍ය ණය නියාමන අදිකාරිය පිළිබඳ පනත“ මේ වන විට කෙටුම්පත් මට්ටමේ පවතින බවත්ය.

    මෙම සාකච්ඡාවේ දී අද දෙරණ විසින් මූලික ගැටළු කිහිපයක් මහ බැංකු අධිපතිවරයාගේ අවධානයට ලක් කරන ලදී.

    රජය විසින් මහ බැංකුව හරහා ලබා දෙන සහන කාලයක් ජනතාවට ලබා නොදී ඒ උපදෙස් නොතකා කටයුතු කරන්න, රටේ මූල්‍ය ආයතනයකට හැකියාවන් තියෙනවාද ?

    ආයතනවල නීත්‍යානුකූල තත්ත්වය පිළිබඳ මෙතන ප්‍රශ්නයක් තිබෙනවා. ලියාපදිංචි තත්ත්වය පිළිබඳ. මහ බැංකුව සමඟ ලියාපදිංචි වී සිටින මහ බැංකුව විසින් නියාමනය කරනු ලබන ආයතනවලට තමයි මේ ණය සහන සම්බන්ධව නියෝග ගිහිල්ලා තිබෙන්නේ. ඒ රජය විසින් නියම කරනු ලැබ මහ බැංකුව විසින් අදාළ නිර්දේශ ඉදිරිපත් කරනු ලැබ, ක්‍රියාත්මක වෙන ක්‍රමය පිළිබඳව නියෝග ගිහිල්ලා තිබෙන්නේ මහ බැංකුව සමඟ ලියාපදිංචි වෙලා තිබෙන බැංකු, ලියාපදිංචි මූල්‍ය ආයතන හා ලියාපදිංචි ලීසිං සමාගම්.

    එතකොට ඔය අභාග්‍යසම්පන්න සිදුවීම සිදුවුණේ ඉහත කී තුන්වර්ගයෙන් එකකටවත් අයිති වෙන මූල්‍ය ආයතනයක නෙමෙයි. ඇත්තටම මූල්‍ය ආයතනයක් කියලා හඳුන්වන්නටත් බැහැ. එය කුලී සින්නක්කර ක්‍රමයට ණය දෙන ආයතනයක්. ලංකාවේ ඕනම කෙනෙකුට ණය දෙන්න පුළුවන්. සල්ලි තියෙනවා නම්, ණය ගන්න අය ඉන්නවා ඕන තරම්, ණය දෙන්න පුළුවන්. එහෙම අය ගම්වල ඉන්නවා. නගරවල ඉන්නවා. මේකත් ඒකේ එක්තරා දිගුවක්. මේ අය මුදල් තැන්පත් භාර ගන්නේ නැහැ. නමුත් ණය දෙනවා. මේ කටයුතු සමහරක් ඒවා සමාගම් ලෙස ලියාපදිංචි වෙලා කටයුතු කරනවා. එහෙම නැතුව කටයුතු කරන ඒවාත් තිබෙනවා. සමහර විට අපි කිසිකෙනෙක් දන්නේ නැහැ, කීයක් මේවා තියෙනවාද කියලා, පාරේ යන කොට පාරේ දෙපැත්තේ ඔය වගේ ආයතන ගණනාවක් තියෙනවා බලා ගන්න පුළුවන්. එහෙම හඳුනාගන්න බැරි ආයතනත් තිබෙනවා. දහස් ගණනක් ඇති කියලා අපි හිතනවා.

    මෙවැනි ආයතනවලට ලීසිං පහසුකම් ලබා දිය හැකිද ?

    ඒ ගොල්ලෝ කරන්නේ ලීිසිං කියන ගණයට වැටෙන ක්‍රියාමාර්ගය නෙමෙයි. ඔය දෙක අතර වෙනස බොහොම අමාරුයි තේරුම් ගන්න. නීතිමය වශයෙන් ලීසිං කටයුතු යටත් වෙනවා 2000 අංක 56 දරන පනතට. නමුත් කුලී සින්නක්කර කටයුතු ක්‍රියාත්මක වන්නේ, 1982 අංක 29 පාරිභෝගික ණය පනත යටතේ. දෙවැනියට සඳහන් පනත යටතේ ක්‍රියාත්මක ආයතන විශාල ප්‍රමාණයක් තිබෙනවා. ඒවා නියමාකාරයෙන් ලියාපදිංචි වීමත් නැහැ. කවුරුවත් නියාමනය කරන්නේ නැහැ. පසුගිය දා සිදුවුණා වගේ අවාසනාවන්ත සිද්ධියක් සිදුවුණාම තමයි මේ කාරණය මතුවන්නේ.

    ප්‍රශ්නගත ආයතනයේ නාමපුවරුවේ දැක්වුණා Finance for Motor Vehicle කියන වාක්‍යය. මේ ආකාරයෙන් වාහන සඳහා ණය ලබා දෙන්නට හැකියාවක් ඔවුන්ට නීතිමය වශයෙන් තිබෙනවාද?

    ඕනෑම කෙනෙකුට ණය දෙන්න පුළුවන්. ඔතන Finance කියන් වචනය දෙවන පේලියේ වරහන් ඇතුලේ දාලා තිබුණා මම දැක්කා. නමේ Finance කියන එකක් නැහැ. නමේ තියෙන්නේ Investments Company කියලා. ඉතිං ඒ ගෝල්ලා පිළිබඳව කවුරුවත් නීත්‍යානුකූල ප්‍රශ්නයක් මතු නොකරන්නට ඇති.

    මේ ප්‍රශ්නයේ දී ත්‍රීවිල් එකක් අවශ්‍ය කෙනෙක් කුලී සින්නක්කර ක්‍රමයට ත්‍රීවීල් එකක් අරගෙන ගිහිල්ලා, ගෙවන්න තියෙන වාරිකයක් පිළිබඳ ප්‍රශ්නෙකට ගිහිල්ලා තමයි මේ අවාසනාවන්ත සිද්ධිය සිද්ධ වුණේ.

    අවසානයේ දී මෙවැනි ආයතන නිසා ජනතාව අසාධාරණයට ලක්වෙනවා. මෙවැනි ආයතනවලින් අසාධාරණයට ලක්වෙන අයෙක් පැමිණිලි කරන්න ඕන, මහ බැංකුවට ද , පොලිසියට ද?

    මම හිතන්නේ කෙලින්ම පොලිසියේ සහයෝගය තමයි ලබා ගන්න ඕනෑ. නමුත් ඔය ප්‍රශ්නය ගැන සලකා බලලා, මහ බැංකුව මීට කලකට ඉහත දී සකස් කළා පනතක්, ඒ පනතේ නම ක්ෂුද්‍ර මූල්‍ය හා ණය නියාමන අධිකාරිය පිළිබඳ පනත කියලා. එය තාම කෙටුම්පත් අවස්ථාවේ තියෙන්නේ. එය මහ බැංකුවේ සිට මුදල් අමාත්‍යාංශයේ සලකා බැලීම සඳහා ඉදිරිපත් කරලා තියෙනවා. අපි ආයතන දෙක එකඟ වුණාට පසු, එය කැබිනට්ටුවට ඉදිරිපත් කරලා කැබිනට් අනුමැතියක් සහිතව, සංශෝධන අවශ්‍ය නම් සංශෝධන ඇතිව මෙය පැනවුණොත්, පාර්ලිමේන්තුව රැස්වුණාට පස්සේ, එතකොට මේ කියන අධිකාරිය පිහිටුවලා Micro Finance and Credit Regulatory Authority වශයෙන් එහි නම දාලා තිබෙනවා.

    මෙය මහ බැංකුවෙන් වෙන්වුණු වෙනම අධිකාරියක්, මේ වගේ ආයතන ආවරණය කරන්න බිහිවෙනවා.

    මෙම සම්පූර්ණ සාකච්ඡාව පහතින් නැරඹිය හැකිය.