ලීසිං අක්‍රමිකතා සොයන්න කමිටුවක් – වාර්තාව සති දෙකකින්

    June, 17, 2020

    මූල්‍ය ව්‍යාපාර හා මූල්‍ය කල්බදු ව්‍යාපාර ක්ෂේත්‍රයේ ඇතැම් අවාසනාවන්ත වර්ධනයන් සමාජයේ යහපැවැත්මට මෙන්ම මූල්‍ය ක්‍රමයේ ස්ථාවරත්වයට සැලකිය යුතු බලපෑමක් ඇති කර ඇති බවත්, මේ සම්බන්ධයෙන් සුදුසු වෘත්තිකයින්ගේ සහ කර්මාන්ත විශේෂඥයින්ගේ සහාය ලබා ගනිමින් වාර්තාවක් ලබා දෙන ලෙසත්, ශ්‍රී ලංකා මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්.ඩී. ලක්ෂ්මන් මහතා, ජනාධිපති ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් (නීති), නීතිඥ හරිගුප්තා රෝහණධීර මහතාගෙන් ඉල්ලීමක් කර තිබේ.

    මෙහිදී මහ බැංකු අධිපතිවරයා වැඩිදුරටත්, රෝහණධීර මහතාගෙන් ඉල්ලා ඇත්තේ, ශ්‍රී ලංකා මහ බැංකුවේ නීති හා අනුකූලතා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ කේ.ජී.පී. සිරිකුමාර හා බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජේ.පී. ගම්ලත් සැදුම්ලත් එම කමිටුවේ ප්‍රධානත්වය භාර ගන්නා ලෙසයි.

    මෙම කමිටුව වෙත,

    1. මූල්‍ය ව්‍යාපාරයේ සහ මූල්‍ය කල්බදු ව්‍යාපාරයේ නියාමනය නොකළ ක්‍රියාකරුවන් සම්බන්ධ ගැටළු

    2. මූල්‍ය ව්‍යාපාර සහ මූල්‍ය කල්බදු ව්‍යාපාර සිදු කරන නියාමනය කරන ලද ආයතනවල පිළිගත නොහැකි භාවිතයන් සම්බන්ධ ගැටළු

    3. ඉහත හඳුනාගෙන ඇති ගැටළු කළමනාකරණය කිරීම සඳහා හඳුන්වා දිය හැකි පියවර යෝජනා කිරීම.

    පැවරී තිබේ.

    මෙම කමිටුවේ වාර්තාව සති දෙකක් ඇතුළත ලබා දෙන මෙන් මහ බැංකු අධිපතිවරයා වැඩිදුරටත් මෙහිදී ඉල්ලා ඇත.

    මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකු අධිපතිවරයා, ජනාධිපති ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් (නීති) වෙත යවන ලද ලිපිය පහතින් දැක්වේ.