මොකක්ද මේ ‘ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය‘ ?

    June, 17, 2020

    බලපත්‍රලාභී වාණිජ බැංකුවල සියලු රුපියල් තැන්පතු වගකීම් සඳහා අදාළ ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය 2020 ජුනි 16 වන දිනෙන් ආරම්භ වන සංචිත පවත්වා ගෙන යෑමේ කාල පරිච්ඡේදයේ සිට ක්‍රියාත්මක වන පරිදි සියයට 2.00 දක්වා පදනම් අංක 200කින් අඩු කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය ඊයේ (16) තීරණය කළේ ය.

    මූල්‍ය ආර්ථික විද්‍යාවට සහ මහ බැංකු සම්ප්‍රදායට අනුව මහ බැංකුව විසින් මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේ දී අනුගමනය කරන ප්‍රතිපත්ති උපකරණ කිහිපයකි. එනම්,

    • ප්‍රතිපත්ති පොළී අනුපාත (Policy Interest Rates)
    • ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය (Statutory Reserve Ratio)
    • විවට වෙළෙඳපොළ කටයුතු (Open Market Operation)
    • බැංකු ණය පාලනයන් (Credit Controls)
    • ශිෂ්ට ප්‍රයෝග (Moral Suasion)

    ඒ අනුව මෙම ප්‍රතිපත්ති උපකරණ යටතට ගැනෙන ‘ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය‘ ඊයේ (16) සිට ක්‍රියාත්මක වන පරිදි 2%ක් දක්වා දක්වා පහත දැමීමට ශ්‍රී ලංකා මහ බැංකුව පියවර ගෙන ඇත.

    ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය යනු වාණිජ බැංකුවල තැන්පතු වගකීම්වලින් මහ බැංකුවේ තැන්පතු කළ යුතු යැයි නියම කරනු ලබන අනුපාතයයි. මෙම අනුපාතය බැංකුවල මුදල් මැවීමේ හැකියාව සීමා කිරීමට පනවන රෙගුලාසියකි. ඊට හේතුව, බැංකු වෙත ලැබෙන තැන්පතුවලින් සංචිත අනුපාතයට තැබිය යුතු මුදල් ප්‍රමාණය ණය දීමේ ක්‍රියාවලියෙන් ඉවත් වන බැවිනි.

    ඒ අනුව සංකෝචනාත්මක මූල්‍ය ප්‍රතිපත්තියක දී සංචිත අනුපාතය ඉහළ දමන අතර ප්‍රසාරණාත්මක මූල්‍ය ප්‍රතිපත්තියක දී සංචිත අනුපාතය පහළ දමනු ලැබේ. සංචිත අනුපාතය ඉහළ දැමූ විට බැංකු ක්‍රමයේ මුදල් මැවීමේ (ණය මැවීමේ) හැකියාව පහළ යන අතර සංචිත අනුපාතය පහළ දැමූ විට මුදල් මැවීමේ හැකියාව ඉහළ යනු ඇත.

    මේ අනුව ඊයේ (16) දිනයේ දී ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ගනු ලැබූයේ ප්‍රසාරණාත්මක මූල්‍ය ප්‍රතිපත්තියක් ක්‍රියාවට නැංවීමකි.

    මූල්‍ය ප්‍රතිපත්තියෙන් අපේක්ෂිත මූල්‍ය තත්ත්වය වෙනස්වීමේ ප්‍රමාණය අනුව සංචිත අනුපාතය වෙනස් කරනු ලැබේ. විවිධ රටවල මහ බැංකු විවිධ ක්‍රමයට සංචිත අනුපාතය ක්‍රියාත්මක කරනු ලැබේ. මෙහිදී තැන්පතු වර්ගය අනුව වෙනස් සංචිත අනුපාත නියම කිරීම (උදා - ඉල්ලුම් තැන්පතුවලට ඉහළ අනුපාතයක් ද ඉතිරිකිරීමේ තැන්පතුවලට අඩු අනුපාතයක් ද වශයෙන්), සමහර තැන්පතුවලට සංචිත අනුපාතය අදාළ නොකිරීම, සංචිතවලට පොළී ගෙවීම සහ සංචිතවලින් කොටසක් ඉතාමත් ද්‍රවශීල මූල්‍ය වත්කම්වලින් තබා ගැනීමට බැංකුවලට අවසර දීම යනාදිය දැක්විය හැකිය.

    ශ්‍රී ලංකාවේ සංචිත අනුපාතය ක්‍රියාත්මක කිරීම පිළිබඳව වැදගත් තොරතුරු කිහිපයක් පහත දැක්වෙයි.

    • සංචිත අනුපාතය වාණිජ බැංකු වෙත ඇති මහජනයාගේ රුපියල් තැන්පතුවලට පමණක් අදාළ වීම.
    • රජයේ තැන්පතු, අන්තර් බැංකු තැන්පතු සහ විදේශ මුදල් තැන්පත් සංචිත අනුපාතයෙන් නිදහස් කිරීම.
    • සියලුම අදාළ තැන්පතු සඳහා එක් සංචිත අනුපාතයක් අදාළවීම.
    • සංචිතවලට පොලී ගෙවීම සහ හිඟ සංචිතවලට දඩයක් අය කිරීම. එම දඩය දැනට හිඟ සංචිත මුදල් සඳහා රු. 1,000කට රුපියලකි. (දිනකට 0.01%). මෙය වාර්ෂික අනුපාතයක් ලෙස 36.5% කි.
    • මහ බැංකුවේ තැන්පතුවලට අමතරව බැංකු වෙත ඇති කාසි සහ නෝට්ටු කොටසක් සංචිත ලෙස තබා ගත හැකිය. එම ප්‍රමාණය සංචිත අනුපාතය අදාළ වන තැන්පතු වගකීම්වලින් 2%කට වඩා වැඩි විය යුතු අතර 4% කට නොවැඩි ප්‍රමාණයක්ය.
    • සංචිත ගණනය කිරීම සහ පවත්වා ගෙන යාම දෛනිකව නොව කාලීනව සිදුකිරීම.

    (උපුටා ගැනීම - ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයට පත් කළ ‘මුදල් ගනුදෙනු, බැංකු සහ ආර්ථිකය‘ ග්‍රන්ථයෙනි.)