‘ආසිරි – ඇබර්ඩීන්‘ තවත් සයිටම් අර්බුදයකට මුලපිරීමක් ද?

    June, 22, 2020

    අද (22) දින කොළඹ නගරයේ ස්ථාන කිහිපයකම දර්ශනය වූ පෝස්ටරයකින් කියැවුණේ, පෞද්ගලික විශ්වවිද්‍යාලයක් සම්බන්ධ ප්‍රවෘත්තියකි. මෙරට ප්‍රමුඛතම ආරෝග්‍යශාලා ජාලයක් වන ආසිරි රෝහල් සමූහය විසින් එක්සත් රාජධානියේ ඇබර්ඩීන් සරසවිය සමඟ එක්ව දියත් කිරීමට සැරසෙනවා යැයි සඳහන් වෛද්‍ය උපාධි පාඨමාලාවක් මේ සඳහා ප්‍රස්තුථ වී ඇත. අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය විසින් මෙම පෝස්ටර් ව්‍යාපාරය දියත් කර තිබිණ.

    සම කැබ්නට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පසුගිය දා (18) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී මේ සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් කරමින් කියා සිටියේ, රජය විසින් පුද්ගලික වෛද්‍ය විද්‍යාලයක් ආරම්භ කිරීම සඳහා ආසිරි රෝහල සමඟ එකඟතාවයක් ඇති කරගෙන ඇති බවට සිදුකෙරන ප්‍රචාර සම්පූර්ණයෙන් අසත්‍යය බවයි. මෙවැනි විශ්වවිද්‍යාලයක් හෝ උපාධි දෙන ආයතනයක් තිබේ නම්, ඒ සඳහා උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ අනුමැතිය ලබා ගැනීම අනිවාර්ය බවත්, තමන් උසස් අධ්‍යාපන අමත්‍යවරයා වශයෙන් ඒ සඳහා අනුමැතිය ලබා දෙන අංශවලින් විමසීමක් කරනු ලැබූ බවත්, මේ වන විට යටත්පිරිසෙයින් එවැනි කටයුත්තක් සඳහා ඉල්ලුම් පත්‍රයක් හෝ ලැබී නොමැති බවත් ඔහු අවධාරණය කළේය.

    එහිදී වැඩිදුරටත් අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මෙසේ පැවසීය.

    “මීට වර්ෂ 3කට පෙර, 2018 වර්ෂයේ දී ආසිරි සමූහ ව්‍යාපාරයේ වාර්ෂික වාර්තාවේ සඳහන් කරලා තියෙනවා, ඒ අය සාකච්ඡා කරන් යනවා කියලා, එක්සත් රාජධානියේ ඇබර්ඩීන් විශ්වවිද්‍යාලය සමඟ, ඒ විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන, උපාධිය ලබන සිසුන්ට, තමන්ගේ රෝහලේ පර්යේෂණ, අත්හදාබැලීම් හා පුහුණු වීමේ පහසුකම් ලබා දෙනවා කියලා. ඒක දැනට හැමතැනම සිද්ධ වෙන සාමාන්‍ය ක්‍රමවේදයක්. මොකද වෙනත් රටවල විශ්වවිද්‍යාල, ඒ විශ්වවිද්‍යාලවල ශිෂ්‍යයන් අපේ රටේ විශ්වවිද්‍යාලවලට, අධ්‍යාපන ආයතනවලට පුහුණුවීමේ ආයතනවලට, සෞඛ්‍ය ආයතනවලට එවනවා. ඒක පුරුද්දක්. උදාහරණයක් වශයෙන් ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට විශාල පිරිසක් එනවා වෛද්‍ය පීඨයට පර්යේෂණ කරන්න. එන්නේ සාමාන්‍ය විශ්වවිද්‍යාලවලින් නෙමෙයි, ඔක්ෆර්ඩ් විශ්වවිද්‍යාලයෙන් ඇවිල්ලා මේ පර්යේෂණාගාර පාවිච්චි කරනවා. එහෙම තමයි ලෝකයේ දැනීම හා තාක්ෂණය හුවමාරු කර ගන්න ක්‍රමය.“

    “ඒ නිසා කිසිම අවස්ථාවකදී රජයවත්, උසස් අධ්‍යාපන අමාත්‍යාංශයවත්, මමවත්, පුද්ගලික වෛද්‍ය විද්‍යාලයක් ලංකාව තුළ ඇති කිරීම සඳහා කිසිදු ඉල්ලුම් පත්‍රයක්වත් සලකා බලලා නැහැ. ඉල්ලුම් පත්‍රයක්වත් මේ ආයතනය ඉදිරිපත් කරලා නැහැ. ඔවුන් අවබෝධතා ගිවිසුමක් අත්සන් කරලා තියෙන්නේ, ඔවුන්ගේ රෝහල් පරිශ්‍ර තුළ, යම්කිසි ගාස්තු අයකිරීමක් යටතේ, ආදායම් ලැබීමක් යටතේ පුහුණුව සඳහා ලබා දෙන්න.“

    ආසිරි රෝහල් සමූහයේ, සමූහ සමාගම වන සොෆ්ට්ලොජික් හෝල්ඩිංග්ස් හි 2017/18 වාර්ෂික වාර්තාවේ එහි සභාපති/ කළමනාකාර අධ්‍යක්ෂ අශෝක් පතිරගේ මහතා මේ සම්බන්ධයෙන් තබා ඇති සටහන පහතින් දැක්වේ.

    "Discussions are taking place with the University of Aberdeen, aimed at launching an MBBS degree through which local students can aspire to a foreign MBBS at an affordable cost. We believe this will help the healthcare industry to increase its available pool of expertise."

    මේ අතර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විධායක සභාව සහ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය අතර, ඇබර්ඩීන් විශ්වවිද්‍යාලය ආසිරි රෝහල සමග ප්‍රදානය කිරීමට සැරසෙනවා යැයි කියන වෛද්‍ය උපාධිය පිළිබඳව සාකච්ඡාවක් පසුගිය සතියේ පවත්වා තිබේ. එම සාකච්ඡාවේ ඡායාරූපයක් පහතින් දැක්වේ.

    පහත දැක්වෙන්නේ ආසිරි රෝහල් සමූහයේ වාර්ෂික වාර්තාව ඇසුරෙන් 2018 වසරේ දී අද දෙරණ Biz හි පළ වූ මීට සම්බන්ධ ප්‍රවෘත්තියයි.

    ලොකුම පුද්ගලික රෝහල් ජාලයට හිමිකම් කියන්නාගෙන් අන්තර්ජාතික වෛද්‍ය උපාධියක්

    August, 27, 2018

    Billionaire Ashok Pathirage controlled Asiri Health to launch an MBBS degree Program

    August, 26, 2018