2020 මැයි මාසයේ දී උද්ධමනය තවදුරටත් පහළට

    June, 23, 2020

    ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි (2013 = 00) ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2020 අප්‍රේල් මාසයේ පැවති සියයට 5.9හි සිට 2020 මැයි මාසයේ දී සියයට 5.2 දක්වා තවදුරටත් පහළ ගියේ ය. 2019 මැයි මාසයේ පැවති ඉහළ පදනම් අගය හේතුවෙන් ඇති වූ සංඛ්‍යානමය බලපෑම මේ සඳහා ප්‍රධාන වශයෙන් හේතු විය. මේ අතර, 2020 අප්‍රේල් මාසයේ දී සියයට 12.2හි පැවති ආහාර කාණ්ඩයෙහි ලක්ෂ්‍යමය උද්ධමනය 2020 මැයි මාසයේ දී සියයට 11.1 දක්වා පහළ ගිය අතර, ආහාර නො වන කාණ්ඩයෙහි ලක්ෂ්‍යමය උද්ධමනය ද, 2020 අප්‍රේල් මාසයේ දී පැවති සියයට 1.1හි සිට 2020 මැයි මාසයේ දී සියයට 0.8 දක්වා පහළ ගියේ ය.

    වාර්ෂික සාමාන්‍ය පදනම මත මනිනු ලබන ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි වෙනස 2020 අප්‍රේල් මාසයේ පැවති සියයට 5.1හි සිට 2020 මැයි මාසයේ දී සියයට 5.2 දක්වා සුළු වශයෙන් ඉහළ ගියේ ය.

    2020 මඅයි මාසයේ දී ජා.පා.මි. දර්ශකයෙහි මාසික වෙනස සියයට 0.4ක් ලෙස වාර්තා වූ අතර, ආහාර කාණ්ඩයේ අයිතමවල මිල ගණන් ඉහළ යෑම මේ සඳහා බලපාන ලදී. ඒ අනුව, 2020 මැයි මාසයේ දී ආහාර කාණ්ඩයෙහි, ප්‍රධාන වශයෙන්, එළවළු, මාළු, පරිප්පු සහ පොල් තෙල් මිල ගණන් හි ඉහළ යෑමක් දක්නට ලැබුණි. කෙසේ වුවද, මෙම මාසය තුළ දී ලොකු ළූණු සහ පොල් මිල ගණන් සැලකිය යුතු ලෙස පහළ ගියේය. මේ අතර, 2020 මැයි මාසයේ දී ආහාර නොවන කාණ්ඩයෙහි මද්‍යසාර පාන වර්ග හා දුම්කොළ (බුලත්) සහ විනෝදාත්මක හා සංස්කෘතික (පුපත්පත්) උප කාණ්ඩයන් හි අයිතමවල මිල පහළ ගියේය.

    තවද, ලක්ෂ්‍යමය පදනම මත මූලික උද්ධමනය 2020 අප්‍රේල් මාසයේ දී පැවති සියයට 3.2 හි සිට 2020 මැයි මාසයේ දී සියයට 3.7 දක්වා පහළ ගිය අතර, වාර්ෂික සාමාන්‍ය මූලික උද්ධමනය 2020 අප්‍රේල් මාසයේ දී පැවති සියයට 5.0 හි සිට 2020 මැයි මාසයේ දී සියයට 4.8 දක්වා පහළ ගියේය.