අප්‍රේල් මාසයේ දී රථවාහන ආනයන වියදම වැඩිවෙයි

    June, 23, 2020

    රට තුළ කොවිඩ්-19 වසංගතය පැතිරීමත් සමඟ ප්‍රධාන වයෙන් සේවා ඇනහිටීම හේතුවෙන් ශ්‍රී ලංකා රේගුවේ එකතු වූ රථවාහන නිදහස් කිරීම හේතුවෙන් 2020 වසරේ අප්‍රේල් මාසයේ දී පෙර මාසයට සාපේක්ෂව පෞද්ගලික රථවාහන ආනයන වියදම සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

    ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කරන ලද 2020 අප්‍රේල් මාසයේ දී විදේශීය අංශයේ ක්‍රියාකාරීත්වය පිළිබඳ වාර්තාවෙහි මේ බව සඳහන් වේ.

    2019 අප්‍රේල් මාසයේ දී පෞද්ගලික රථවාහන ආනයන වියදම එක්සත් ජනපද ඩොලර් මිලියන 47.6 ක් ලෙසින් වාර්තා වූ අතර එය පසුගිය 2020 අප්‍රේල් මාසයේ දී ඩොලර් මිලියන 60.4 ක් දක්වා 26.9% ක වැඩිවීමක් මේ අනුව පෙන්නුම් කර තිබේ.

    2020 මුල් මාස 04 තුළ දී පෞද්ගලික රථවාහන ආනයනය සඳහා දරා ඇති මුළු පිරිවැය ඩොලර් මිලියන 216.8ක් වන අතර මෙය 2019 මුල් මාස 04හි එම වටිනාකම වූ ඩොලර් මිලියන 217.4 හා සැසඳීමේ දී 0.3% ක අඩුවීමකි.

    කෙසේ වෙතත් ප්‍රධාන වශයෙන් අන්තර් භාණ්ඩ සහ ආයෝජන භාණ්ඩ ආනයන කැපී පෙනෙන ලෙස පහත වැටීම හේතුවෙන් 2020 වසරේ අප්‍රේල් මාසයේ දී වෙළෙඳ භාණ්ඩ ආනයන වියදම පෙර වසරේ අනුරූප මාසයට සාපේක්ෂව එක්සත් ජනපද ඩොලර් මිලියන 1,123ක් දක්වා සියයට 29.6කින් කැපී පෙනෙන ලෙස පහත වැටී ඇත.

    කොවිඩ්-19 වසංගත තත්ත්වය හේතුවෙන් තෝරාගත් පාරිභෝගික භාණ්ඩ ආනයනයට පහසුකම් සැපයීම නැවැත්වීම ඇතුළුව රජය සහ මහ බැංකුව විසින් 2020 වසරේ මාර්තු සහ අප්‍රේල් මාසවල දී ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ග ද ආනයන වියදම අඩුවීමට හේතු වූ බව ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් කියා සිටී.

    ඡායාරූපය - හම්බන්තොට වරාය පරිශ්‍රයේ ආනයනය කර නිදහස් කර නොගත් රථවාහන ගාල් කර තිබුණු අයුරු.