June, 23, 2020
ලීසිං හා මූල්‍ය සමාගම්වලින්, ශ්‍රී ලංකා මහ බැංකුවේ ඇතැම් නිලධාරීන්ට විවිධ වරප්‍රසාද හිමි වන බැවින් ඔවුන් අදාළ සමාගම් සම්බන්ධයෙන් මුනිවත රකින බවට ප්‍රවෘත්තියක් පසුගිය දිනෙක පුවත්පතක පළ වී තිබිණි.
කෙසේ වෙතත් ඊයේ (22) දිනයේ දී මේ සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ විමර්ෂන කොමිසම වෙත පැමිණිල්ලක් කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව පියවර ගෙන ඇති බව අද දෙරණ වෙත වාර්තා වේ.
අද (23) විකාශය වූ අද දෙරණ Big Focus සජීවී සංවාදාත්මක වැඩසටහන හා එක් වූ බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජේ.පී. ගම්ලත් මහතා කියා සිටියේ, මේ පිළිබඳව විමර්ශනයක් කරන ලෙස අල්ලස් හෝ දූෂණ විමර්ෂන කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කොට ඇති බවයි.
මේ අතර මෙම වැඩසටහන හා එක් වූ ශ්‍රී ලංකා මහ බැංකුවේ නීති හා අනුකූලතා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ කේ.ජී.පී. සිරිකුමාර මහතා මේ කරුණ සම්බන්ධයෙන් මෙසේ අදහස් දැක්වීය.
“අපි ගන්න ඕන හොඳම ක්‍රියාමාර්ගය අපි යෝජනා කළා. යම්කිසි චෝදනාවක් තියෙනවා නම්, චෝදනා කරන කෙනාටත් සාධාරණයක් වෙන්න ඕනේ, චෝදනා ලබන කෙනාටත් සාධාරණයක් වෙන්න ඕනේ. ඒක පුවත්පතක පළ කරනවාට වඩා, වඩාත් හොඳයි ඒ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන නිසි ආයතනයට දන්වන එක. චෝදනා කළ යුතු කෙනා සාමාන්‍යයෙන් දන්වන්න ඕනේ. චෝදනාලාභීන් අපි. අපි තීරණය කළා, අල්ලස් කොමිසමට භාර දෙනවා, සම්පූර්ණයෙන් ඒ අයගේ ක්‍රියාදාමයන් ඇතුළේ, පරීක්ෂණ කරලා තීරණයකට එන්න. අපේ නිලධාරීන් කරලා තියෙනවා නම් ඒ අය වැරදි වෙන්න ඕනේ. ඒක සම්බන්ධයෙන් කිසිම ප්‍රශ්නයක් අපට නැහැ.“
Video Story