June, 25, 2020
මාළඹේ සිට කොළඹ දක්වා ඉදිකිරීමට යෝජිත සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතියේ නවතා දැමීමට රජය කටයුතු කර නොමැති බවත්, මෙය රාජ්‍ය - පුද්ගලික හවුල්කාරීත්ව ව්‍යාපෘතියක් (PPP) ලෙසින් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරගෙන යන බවත් නාගරික සංවර්ධන, ජලසම්පාදන සහ නිවාස පහසුකම් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ප්‍රියත් බන්දු වික්‍රම මහතා පවසයි. ඊයේ (24) කොළඹ දී පැවති මාධ්‍ය හමුවක දී ලේකම්වරයා මේ බව තහවුරු කළේය. කෙසේ වෙතත් පසුගිය සතියේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී සම කැබිනට් ප්‍රකාශකයින් වන බන්දුල ගුණවර්ධන හා රමේෂ් පතිරණ අමාත්‍යවරුන් කියා සිටියේ, මෙම ව්‍යාපෘතිය නවතා දැමීමට රජය තීරණය කළ බවයි.
මාධ්‍ය හමුවේ දී අදහස් දැක්වූ නාගරික සංවර්ධන, ජලසම්පාදන සහ නිවාස පහසුකම් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ප්‍රියත් බන්දු වික්‍රම මහතා,
“මේ ව්‍යාපෘතිය සිද්ධ වෙන්නේ අපේ අමාත්‍යාංශය යටතේ. මේ ව්‍යාපෘතිය ආරම්භයේ දී සැලසුම් කරපු ආකාරයට වඩා ටිකක් වෙනස් ආකාරයට තමයි දැන් මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක වෙන්නේ. මේ ව්‍යාපෘතිය සඳහා අපි විදේශ උපදේශන සේවාවක් ලබා ගෙන තියෙනවා, ජපාන රජයෙන්. ඒ සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 130 ක ගිවිසුමක් තිබෙනවා. ඊය අමතරව මේ ව්‍යාපෘතියේ ඉදිකිරීම් සඳහා ඇස්තමේන්තුගත කරලා තියෙනවා, දැනට තියෙන ඇස්තමේන්තු අනුව ඩොලර් බිලියන 2.2කට ආසන්න මුදලක්. මේ මුදලෙන් බිලියන 1.8 ක් විතර ජපාන රජයේ ණය ආධාර විදියට ලැබෙන්නත්, ඉතුරු මුදල් ශ්‍රී ලංකා රජය විසින් ආයෝජනය කරන්නත් තමයි මේ ව්‍යාපෘතියේ දැනට සැලසුම් කරලා තියෙන්නේ. මේ වෙන කොට මේ ව්‍යාපෘතියේ මූලික සැලසුම් සියල්ල වගේ අවසාන කරලා තියෙනවා. මේ මාර්ගය ගමන් කරන හරිම මාර්ගය අපි ලකුණු කරලා තියෙනවා. ඒකේ භූ විද්‍යා සමීක්ෂණ කටයුතු කරලා තියෙනවා. පරිසර අධ්‍යයන වාර්තා සකස් කරලා තියෙනවා. ව්‍යාපාරික සැලසුම් වාර්තා සකස් කරලා තියෙනවා. මේ සියල්ලම සකස් කරලා අවසානයි.“
“නමුත් මේ ව්‍යාපෘතියේ අපි හඳුනා ගත්ත වූ ගැටළු කිහිපයක් තියෙනවා. පළවෙනි ගැටළුව, මේ ව්‍යාපෘතිය හරහා ඉදිකරන්න බලාපොරොත්තු වෙන ඩිපෝ එකක් තියෙනවා. මේ ඩිපෝ එක ඉදිකරන්නේ හෙක්ටයාර 55ක වගුරක් උඩ අතිවිශාල කොන්ක්‍රීට් මණ්ඩපයක් මත. ඒ තුළින් ඒ වගුරටත් වෙන බලපෑමක් තිබෙනවා. ඊට අමතරව ඒ සඳහා වැයකරන අතිවිශාල මුදලක් තිබෙනවා. ඊට අමතරව මේ ව්‍යාපෘතියෙන් සම්පූර්ණයෙන් කොළඹ සිට කඩුවෙල දක්වා යන මාර්ගයේ මේ අදියරේ සැලසුම් කරලා තියෙන්නේ මාළඹේ පොඩ්ඩක් පහුකරලා නවත්වන්න. අපි අලුතෙන් යෝජනවා කරලා තියෙනවා, මාළඹේ සිට අතුරුගිරියට මේකේ තවත් මාර්ගයක් එකතු කරලා, අතුරුගිරියේ සාමාන්‍ය පොළොවේ ඉතාම අඩු මිලකට අපට ඉඩමක් හොයාගන්න පුළුවන් මේ අවශ්‍ය ඉඩකඩ හොයාගෙන, අර කොන්ක්‍රීට් ස්ලැබ් එක දාන වියදමින්, ඩිපෝ එක හදන්න යන වියදමින්, අපිට මේ මාර්ගයත් හදලා යාඩ් එකත් හදන්න පුළුවන්. ඒ වගේ වෙනස්කම් කිහිපයකුත් අපි යෝජනා කරලා තියෙනවා. මීට කලින් පැවති රජය සමයේ එකඟ වුණු කාරණාවලට වඩා පොඩ්ඩක් වෙනස් ආකාරයේ නිර්මාණ ටිකක් ඇවිල්ලා තිබෙනවා.“
“රජය මේ සම්බන්ධයෙන් ලබා ගන්නා වූ ණය ප්‍රමාණය වෙනත් වඩා ඵලදායී ව්‍යාපෘතියකට අරගන්න පුළුවන් ඉඩකඩ ගැන සලකා බලනවා. ඒ නිසා තමයි අපි මේ ව්‍යාපෘතිය පෞද්ගලික අංශයත් එක්ක එකතු වෙලා, දේශීය පෞද්ගලික අංශයට මෙවැනි ඉදිකිරීමක් කරන්න අමාරුයි. විශේෂයෙන් ජාත්‍යන්තර ආයෝජකයෝ මේකට ගෙන්න ගන්න පුළුවන්කමක් තියෙනවා. මේ ජාත්‍යන්තර ආයෝජකයෝ මේකට ගෙන්න ගෙන, මෙය ණය ව්‍යාපෘතියක් ලෙස නොව ආයෝජන ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කරන්න, අපි කටයුතු කරගෙන යනවා. අවසාන තීන්දුව මේ වන කොට තවම අරගෙන නැහැ. නමුත් අවශ්‍ය මූලික වැඩකටයුතු මේ වන විට කරගෙන යනවා. සමහරු කියනවා, මේ ව්‍යාපෘතිය ණය ව්‍යාපෘතියෙන් ආයෝජන ව්‍යාපෘතියක් බවට පරිවර්තනය කරන කොට, මේ ව්‍යාපෘතිය ප්‍රමාද වෙන්න පුළුවන් කියලා. එහෙම වෙන්නේ නැහැ. දැනටත් මේ ව්‍යාපෘතියේ ඉඩම් අත්පත් කරගැනීමේ කටයුතු කරගෙන යනවා. මේ ඉඩම් අත්පත් කිරීමේ කටයුතු අවසන් වෙන්න, අවම වශයේන ලබන අවුරුද්දේ මැයි මාසයවත් වෙනවා. ඉඩම් අත්පත් කිරීමේ කටයුතු අවසන් වෙනකං මේ ව්‍යාපෘතිය ආරම්භ කරන්න විදියක් නැහැ.“
“දැන් පෞද්ගලික අංශයේ සහයෝගයෙන් PPP ව්‍යාපෘතියක් විදියට ක්‍රියාත්මක කරන්න අවශ්‍ය වැඩපිළිවෙල ක්‍රියාත්මක කළත්, අපට ඕන තරම් කාලය තිබෙනවා ඒ වැඩ ටික කරලා ඉඩම් අත්පත් කිරීමේ අවසානය වන විට මේ ව්‍යාපෘතිය පටන් ගන්න. ඒ නිසා ජනතාවටය මේ ව්‍යාපෘතිය ඉදි කරලා අවසන් කරන්න බලාපොරොත්තු වුණු දිනය පන්නන්න අපට අවශ්‍යතාවයක් ඇති වෙන්නේ නැහැ. එදාටම අපට මේක ඉවර කරන්න පුළුවන්. මේ සම්බන්ධයෙන් ජයිකා ආයතනය හා ජපාන රජය සමඟ රජය අවශ්‍ය මූලික සාකච්ඡා කටයුතු කරයි. තවත් අවස්ථාවක සඳහන් වෙලා තිබුණා, මේකට අතිවිශාල වන්දියක් ගෙවන්න වෙනවා කියලා. ඒක සම්පූර්ණයෙන් වැරදියි. මේ ව්‍යාපෘතියේ මේ වෙනකොට අත්සන් කරලා තියෙන ණය මුදල ඇමරිකානු ඩොලර් මිලියන 280 යි. මෙයන් දැනට භාවිතා කරලා තියෙන්නේ ඩොලර් මිලියන 20කටත් වඩා අඩු ප්‍රමාණයක්. මේ ණය ගිවිසුම අවසන් කළොත් යම්කිසි විදියකින් අපට ගෙවන්න වෙන්නේ මේ ඇමරිකානු ඩොලර් මිලියන 20ට අදාළ ගෙවීම් සහ අතුරු ගෙවීම් කිහිපයක් පමණයි. ණය ගිවිසුම සම්බන්ධයෙන් ප්‍රමාද ගාස්තු ගැන සටහනක් නැහැ. ණය අවලංගු කිරීම සම්බන්ධයෙන් ගාස්තුවක් ගෙවන්න වුණොත් ගෙවන්න වෙන්නේ උපදේශන සේවා සමාගමට විතරයි.“
“මෙය ජාත්‍යන්තර විවෘත යෝජනා කැඳවීමක් හරහා ක්‍රියාත්මක කරන්න බලාපොරාත්තු වෙනවා. සියයට 6 පොළියට චීන රජයෙන් ණයක් අරගෙන මේක කරන්න හදනවා කියලා, සටහනක් තිබුණා. එය සම්පූර්ණ සාවද්‍ය ප්‍රකාශයක්. මේ ව්‍යාපෘතිය භාරව රජයේ නිල වශයෙන් කටයුතු කරන්නේ අපේ අමාත්‍යාංශය. අපි කිසිම අවස්ථාවක එවැනි යෝජනාවක් සලකා බලලාවත්, සාකච්ඡා කරලාවත් නැහැ. මේ ව්‍යාපෘතිය අපි ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වන්නේ ජාත්‍යන්තර තරඟකාරී යෝජනා කැඳවීම මත වඩාත්ම රටට වාසිදායක යෝජනාවලිය ඉදිරිපත් කරන සමාගමත් එක්ක එකතු වෙලා වැඩකරලා.“
සබැඳි පුවත්,
June, 18, 2020
July, 9, 2018
Video Story