උඳු හිඟයක්. ආහාර නිෂ්පාදකයින් අර්බුදයක

    July, 1, 2020

    සීනි, කිරිපිටි, තිරිඟු , කුළුබඩු, එළවළු තෙල්, ධාන්‍ය වර්ග, සත්ත්ව ආහාර පමණක් නොව එදිනෙදා පරිභෝජනයට ගනු ලබන අල, වියළි මිරිස්, ලොකු ලූණු, රතු ලූණු, මුං ඇට, උඳු, කුරක්කන් වැනි දෑ ද, කහ, සියඹලා, කොමඩු, උම්බලකඩ, හාල්මැස්සන් වැනි ද්‍රව්‍ය ද ශ්‍රී ලංකාවට ආනයනය කිරීම සඳහා විශාල විදේශ විනිමයක් රටින් බැහැරට යන බව වාර්තා වී ඇත. ශ්‍රී ලංකා මහ බැංකුවේ වාර්තාවන්ට අනුව 2018 වසරේ දී මෙම කෘෂිකාර්මික ආනයනය සඳහා ශ්‍රී ලංකාව දරා ඇති මුළු වියදම රුපියල් බිලියන 289 ඉක්මවා තිබේ.

    මෙසේ දේශීයව වගා කළ හැකි ධාන්‍ය වර්ග ආනයනය නතර කිරීමට රජය විසින් පසුගිය ද පියවර ගනු ලැබීය. එහිදී රජය නිවේදනයක් නිකුත් කරමින් අදාළ පාර්ශවවලින් මෙසේ ඉල්ලා සිටියේය.

    “2019/20 මාස් කන්නය දැන් උදා වී ඇත. ඒ සඳහා අවශ්‍ය යහපත් දේශගුණික තත්ත්වයත්, වාර්ෂාපතනයත් ලැබෙමින් පවතී. සියලූ ජලාශ පිරෙමින් පවතී. වාරිමාර්ග මෙන්ම වාරිමාර්ග නොවන ඉඩම්වල දැනටමත් වී වගාව ආරම්භ වී හෝ ආරම්භ කෙරෙමින් ඇත. බඩඉරිඟු, මුංඇට, කවුපී වැනි භෝග මෙන්ම වගා කළහැකි සෑම භෝගයක්ම වගා කරමින් ජාතික ආර්ථිකයේ කෘෂිකාර්මික නිෂ්පාදන වැඩි කරමින් රටින් ගලා යන විදේශ විනිමය අපේ රටේ ගොවි ජනතාවගේ ආදායම බවට පත් කර ගැනීමට කැපවෙමු යැයි අදාළ පාර්ශ්වයන්ගෙන් රජය ඉල්ලා සිටී.“

    කෙසේ වෙතත් උඳු යොදා ආහාර ද්‍රව්‍ය නිෂ්පාදනය කරනු ලබන නිෂ්පාදකයින් මේ වන විට මෙම තත්ත්වයත් සමඟ බරපතල ගැටළුවකට මුහුණ පා ඇති බව වාර්තා වේ. අද (01) පෙරවරුවේ අද දෙරණ 24 නාලිකාව ඔස්සේ විකාශය වූ Big Focus වැඩසටහන හා එක්වෙමින් මෙරට ප්‍රමුඛ පෙළේ ආහාර දුව්‍ය නිෂ්පාදන ආයතනයක් වන ඇල්ලි කම්පැනි (පුද්) සමාගමේ අධ්‍යක්ෂ ඉල්ලීන් රිලුවාන් මහතා පැවසුවේ, මේ වන විට වෙළෙඳපොළේ උඳු මිල දී ගැනීමට නොමැති බවයි.

    “උඳුවලින් අපි පපඩම්, උඳු පිටි, ඉට්ලි, තෝසේ, වඩේ වැනි නිෂ්පාදන නිෂ්පාදනය කරනවා. ඇතැම් ජන කොටස් ඔවුන්ගේ ප්‍රධාන ආහාර වේල්වලට ගන්නේ මේවා. මේ වෙලාවේ උඳු නැතුව ලොකු අර්බුදයක අපි ඉන්නේ. අපේ පාරිභෝගිකයන්ට මේ නිෂ්පාදන දැන් දෙන්න අපහසු වෙලා තිබෙනවා. උඳුවලට අමතරව කුරක්කන්වලටත් ලොකු අර්බුදයකට මුහුණ දෙන්න අපට සිදුවෙලා. කුරක්කන් භෝගය දැනට අපි ලඟ නැහැ. කුරක්කන්වලින් හදන කෑම, පිට්ටු, කුරක්කන් නූඩ්ල්ස්, කුරක්කන් පිටි, ඉඳි ආප්ප පිටි, කුරක්කන් කැඳ වගේ දේවල්. පාරිභෝගික ඉල්ලුමට සැපයීම දෙන්න අපට බැරිවෙලා තිබෙනවා“, යැයි රිලුවාන් මහතා පැවසීය.

    මෙහිදී වැඩිදුරටත් ඒ මහතා කියා සිටියේ දේශී උඳු අස්වැන්න අඩු වී ඇති බවත්, මිල ඉහළ යාමට එය ද හේතුවක් වී ඇති බවත්ය. අද වන විට පිරිසිදු කළ උඳු කිලෝවක් රු. 1000 ක් දක්වා වෙළෙඳපොළ් මිල නියම වී ඇති බව ඔහු කියා සිටියේය.

    “ලංකාවේ සාමාන්‍යයෙන් අක්කරයකින් උඳු කිලෝ 600-800 ක් අතර ප්‍රමාණයක් ලබා ගන්නවා. වර්ෂා ගැටළුව මීට බලපානව. උඳු කියන්නේ වියළි කලාපයේ වගා කරන භෝගයක්. ඒ නිසා මේ අවුරුද්දෙත් සාමාන්‍යයෙන් ගොවියෙකුට එක අක්කරයකින් ලැබුණේ කිලෝ 400 ක් හෝ ඊට අඩු ප්‍රමාණයක්. ම්ල වැඩිවීමට එයත් ලොකු හේතුවක් වුණා.“

    “මේ වෙලාවේ වෙළෙඳපොළේ උඳු මිල දී ගන්න නැහැ. ඒ නිසා අධික මිලක් නියම වෙලා, කළු ඇට රු. 550 ක් වගේ. කලින් මේක සාමාන්‍යයෙන් රුපියල් 200න් පටන් ගත්තේ. ඒක 300ට ගිහිල්ලා, අද වෙන කොට රු. 550 ට යනවා. වෙළෙඳපොළේ බොහොම පොඩි තොගයක් මේ වෙලාවේ තිබෙන්නේ. අද වන විට පිරිසිදු කළ උඳු කිලෝවක් රු. 925-1000 ක් පමණ වෙනවා.“

    “අපේ නිෂ්පාදන පැකට්වල මිල නියම කරලා තියෙන වෙලාවක අපට ඉදිරියට යන්න බැරිකමක් ඇවිත් තිබෙනවා. මේ ප්‍රශ්නය නිසා මේ වෙන කොට කුඩා කර්මාන්ත 200ක් විතර ඒ ගොල්ලන්ගේ මෙහෙයුම් නවත්වලා තියෙන්නේ. අපට ආපහු උඳු ලැබෙන්නේ ඊළඟ මහ කන්නයේ දී, පෙබරවාරි මාසයේ දී වගේ. ගිය මාසේ ඉතාලියට අපනයන ඇණවුමක් තිබුණා. නමුත් උඳු නැති නිසා ඒ ඇණවුම සම්පූර්ණ කරන්න අපට බැරි වුණා.“