July, 9, 2020
මෙම වසර ආරම්භයේ දී සියයට 4ක පමණ ආර්ථික වර්ධන වේගයක් බලාපොරොත්තු වුව ද කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් එය නැවත පුරෝකථනය කළ බවත්, ඒ අනුව මහ බැංකුව වාර්ෂික වාර්තාව මුද්‍රණය කළ අවස්ථාවේ දී 1.5% ක් ලෙසින් ගණනය කළ එම අගය ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ නවතම සංඛ්‍යාලේඛන ප්‍රකාශයට පත් කළ විට නැවත පුරෝකථනය කරනු ලබන බවත් ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ දොපාර්තමේන්තුවේ අධ්යක්ෂ ආචාර්ය සී. අමරසේකර මහතා පවසයි. අද (09) මහ බැංකු පරිශ්‍රයේ පැවති මාධ්‍ය හමුවක දී ඔහු මේ බව කියා සිටියේය. ඔහු මෙහිදී පැවසුවේ මහ බැංකුව විසින් ගනු ලබන මුදල් ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග හා රාජ්‍ය මූල්‍ය ක්‍රියාමාර්ග අනුව 2020 තෙවන හා සිව්වන කාර්තුවල දී ධනාත්මක ආර්ථික වර්ධනයක් බලාපොරොත්තු විය හැකි බවයි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ දොපාර්තමේන්තුවේ අධ්යක්ෂ ආචාර්ය සී. අමරසේකර මහතා,
“මහ බැංකුවේ වාර්ෂික වාර්තාව මුද්‍රණය කරන විට අපේ අපේක්ෂාව වුණේ 2020 ආර්ථික වර්ධනය 1.5% ක් විතර වෙයි කියලා. නමුත් 2020 අවුරුද්ද පටන් ගන්න විට අපේ බලාපොරොත්තුව වුණේ ආර්ථික වර්ධනය 4%-4.5% ක් පමණ. කොවිඩ් වසංගතය නිසා එය 1.5% ක් දක්වා අඩුකර මහ බැංකු වාර්ෂික වාර්තාවේ සඳහන් කළා.“
“නමුත් ගෝලීය වශයෙන් මෙවැනි අත්දැකීමක් අප කිසිවෙකුටවත් තිබුණේ නැහැ. එම නිසා මේ 1.5% වර්ධනය එලෙසින්ම සිදුවෙයි කියා කියන්න බැහැ. අපි තාම පළමුවෙනි කාර්තුවේ ආර්ථික වර්ධනය දැකලා නැහැ. ජනලේඛන හා සංඛ්‍යාලේඛන දොපර්තමේන්තුව පළමුවෙනි කාර්තුවේ ආර්ථික වර්ධනය නිකුත් කිරීමට අවශ්‍යයි. ලබන සතියේ පමණ එය නිකුත් කරයි. එම ආර්ථික වර්ධනය අගය අනුව මේ 1.5% හෝ කොපමණ ප්‍රමාණයක් ද යන වග යළි පුරෝකථනය කරනු ලබනවා.“
“අපි හිතන්නේ 2020 දෙවන කාර්තුවේ අපට ලැබී ඇති දත්ත අනුව ආර්ථිකයේ සංකෝචනයක් සිදුවේවි. නමුත් අපි ගනු ලබන මුදල් ප්‍රතිපත්ති ක්‍රියාමාර්ගත්, ඒ වගේම රාජ්‍ය මූල්‍ය ක්‍රියාමාර්ගත් අනුව අනිවාර්යයෙන් 2020 අවුරුද්දේ දෙවෙනි භාගයේ, ඒ කියන්නේ තෙවෙනි සහ සිව්වෙනි කාර්තුවල ආර්ථික වර්ධනය ඉතාම ධන තත්ත්වයකට පත් වේවි යන්න අපේ බලාපොරොත්තුවයි.“
Video Story