July, 10, 2020
මේ වන විට කැරට් 24 ග්‍රෑම් 8 ක බරින් යුතු රත්‍රං පවුමක මිල රුපියල් ලක්ෂයක් දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.
Colombo Gold Centre ෆේස්බුක් පිටුව දක්වා ඇති ආකාරයට ඊයේ (09) දින කැරට් 24 රන් පවුමක් රු. 100,000 ක් ලෙසත් කැරට් 22 රන් පවුමක් රු. 91,700 ක් හා කැරට් 21 රන් පවුමක් රු. 87,500 ක් ලෙසත් සටහන්ව ඇත.
එහි වැඩිදුරටත් සඳහන් වන්නේ දින දෙකක් තුළ දී කැරට් 24 ක රන් පවුමක් රු. 5,000 කින් මිල ඉහළ ගොස් ඇති බවයි.
මේ අතර අද දෙරණ Biz විසින් කොළඹ රන් ආභරණ වෙළෙඳ ආයතන කිහිපයකින්ම කළ විමසීමක දීද ඔවුන් මේ බව තහවුරු කළ අතර කැරට් 24 පිරිසිදු රත්‍රං පවුමක මිල රු. 100,000 ක් බවත් කැරට් 22 රත්‍රං පවුමක මිල රු. 93,000 ක් බවත් එහිදී සඳහන් විය.
මේ සම්බන්ධයෙන් ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ රන් ප්‍රමාණ නිශ්චය කිරිම හා මුද්‍රා තැබීමේ සහකාර අධ්‍යක්ෂක ඉන්දික බණ්ඩාර මහතාගෙන් අද දෙරණ Biz විමසා සිටි අතර එහිදී ඔහු මෙසේ අදහස් දක්වා සිටියේය.
“ඊයේ දවසේ දී කැරට් 24 ග්‍රෑම් 8 ක රන් පවුමක මිල රුපියල් ලක්ෂය ඉක්මවා ගොස් තිබෙනවා. කැරට් 22 රු. 93,000 වගේ මිලකට අලෙවි වෙලා තිබෙනවා. වෙළෙඳපොළේ රත්‍රං හිඟයක් තිබෙනවා. රන් සංචිත ප්‍රමාණයේ අඩුවීමක් වාර්තා වෙනවා. පිටරට බොහෝ ආයෝජකයින් රත්‍රංවල ආයෝජනයට පෙළඹිලා තිබෙනවා. මේ වෙන කොට රත්‍රං සැපයුමත් අඩුවෙලා තිබෙනවා. ඉල්ලුමට සරිලන්න සැපයුම නැති නිසා තමයි මේ තත්වය පැන නැඟිලා තිබෙන්නේ. ඊට අමතරව බැංකු කටයුතුවල දී රත්‍රං වෙන්දේසි කිරීමේ ක්‍රියාවලියක් තිබෙනවා. එය දැන් නැවතිලා තිබෙනවා. වෙළෙඳපොළට රත්‍රං එන ක්‍රමවේද සියල්ලක්ම පාහේ ඇහිරිලා තියෙන්නේ. ඒ හේතූන් නිසා රත්‍රං මිල විශාල වශයෙන් ඉහළ ගොස් තිබෙනවා.“
Video Story