ලෝක තෙල් මිල අඩුවෙද්දීත් ලංකා IOC ලාභ නැහැ කියයි. මාස 03ක අලාභය රු. මිලියන 795 ඉක්මවයි

    July, 27, 2020

    2020/21 මූල්‍ය වර්ෂයේ පළමු කාර්තුව, එනම් අප්‍රේල්-ජූනි කාර්තුව සඳහා වූ මූල්‍ය ප්‍රකාශ නිකුත් කිරීමට ලංකා IOC සමාගම අද (27) දින කටයුතු කර තිබේ. කෙසේ වෙතත් මෙම කාර්තුව තුළ මූල්‍ය වාර්තා පිරික්සීමේ දී පෙනී යන්නේ අදාළ කාලපරිච්ඡේදය තුළ සමාගම රු. මිලියන 795.45 ක බදු ගෙවීමෙන් පසු අලාභයක් වාර්තා කර ඇති බවයි.

    පසුගිය වර්ෂයේ සමාලෝචිත කාර්තුව හා සැසඳීමේ දී සමාගමේ විකුණුම් ආදායම රු. බිලියන 18.43 සිට රු. බිලියන 10.68 දක්වා වාර්තාගත ලෙස පහළ බැස තිබේ. කොවිඩ්-19 වසංගත තත්ත්වය හමුවේ මෙම කාර්තුවෙන් සැලකිය යුතු කාලයක් ඇඳිරි නීති තත්ත්වයට ගොදුරු වූ අතර එය ඉන්ධන සඳහා පැවති ඉල්ලුම සීඝ්‍ර ලෙස පහත වැටීමට හේතුවිය. කෙසේ නමුත් ලෝක වෙළෙඳපොළේ් ඉන්ධන මිල ගණන් දැවැන්ත පහළ වැටීමකට භාජනය වූයේ ද මෙම වකවානුවේ දීය. ලෝක ඉන්ධන මිල පහළ යෑමේ ප්‍රතිලාභ ඉදිරි කාර්තුවල දී සමාගමේ ගිණුම් වාර්තා තුළින් පිළිබිඹු වනු ඇතැයි යන්නේ විශ්ලේෂකයින්ගේ අදහසයි.

    2019/20 අප්‍රේල්-ජූනි කාර්තුවේ දී සමාගමේ අලාභය රු. මිලියන 239 ක්වූ අතර එය මෙම කාර්තුවේ දී රු. මිලියන 795.45 ක් දක්වා 232%කින් වැඩි වී ඇත.

    ලංකා IOC පීඑල්සී හි 2020/21 අප්‍රේල්-ජුනි කාර්තුවෙහි සමස්ත ආදායම් ප්‍රකාශය පහතින් දැක්වේ.