July, 29, 2020
2020 පළමු කාර්තුවේ දළ දේශීය නිෂ්පාදිතයේ දත්ත තවමත් නිකුත් කර නැති බවත්, මෙම දත්ත ප්‍රමාද නොකර වෘත්තීයවේදීන් ලෙසින් තම වෘත්තීය ගරුත්වය රැකගෙන වහාම ඉදිරිපත් කරන ලෙසත් සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගෙන් ඉල්ලා සිටී. අද (29) පෙරවරුවේ ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල්වරිය හමුවීමට පැමිණි හර්ෂ ද සිල්වා මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් වැඩිදුරටත් පැවසුවේ 2020 පළමු කාර්තුවේ ආර්ථික වර්ධන වේගය සෘණ අගයක් ගෙන ඇති බැවින් එම දත්ත නිකුත් කිරීම ප්‍රමාද කර ඇති බවයි. එසේම කොවිඩ් වසංගතය ශ්‍රී ලංකාවට පැමිණීමට පෙර මෙලෙස ආර්ථිකය සෘණ අගයක් ගැනීම ගැටළුකාරී තත්ත්වයක් බව ඔහු වැඩිදුරටත් පැවසීය.
මෙහිදී මාධ්‍ය වෙත අදහස් දැක්වූ ආචාර්ය හර්ෂ ද සිල්වා මෙසේ කියා සිටියේය.
“අද මම ජන හා සංඛ්‍යාලේඛන දොපර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල්තුමිය හමුවෙන්න ඇපොයින්මන්ට් එකක් දාලා ආවා. එතුමියට හදිසියේම අමාත්‍යාංශයට යන්න යෙදිලා තිබුණු නිසා මම නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල්වරු සමඟ සාකච්ඡා කළා. කවදාවත් නැති විදියට මේ රටේ දළ දේශීය නිෂ්පාදිතයේ පළවෙනි කාර්තුවේ අගය ඉදිරිපත් කරලා නැහැ තාම. ඇඩ්වාන්ස් කැලැන්ඩර් එකක් තියෙනවා, ඒකට අනුව ඉදිරිපත් කරන්න ඕනේ ජූනි මාසේ 24 වෙනිදා. ජූලි 08 වෙනිදා අධ්යක්ෂ ජනරාල්තුමිය කියලා තිබුණා, ඒ සතියේ මේක නිකුත් කරනවා කියලා. අද ජූලි මාසේ 29. දැන් තවමත් මේ අගය ඉදිරිපත් කරන්නේ නැහැ.“
“අපිට ලැබෙන අභ්‍යන්තර තොරතුරුවලින් ඒත්තු යන දේ තමයි මෙතන ලොකු ප්‍රශ්නයක් තියෙනවා. පළවෙනි කාර්තුවේ දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනය ‘සෘණ‘. එතකොට ඡන්දය තියෙන නිසා ආණ්ඩුව එක්කෝ යම්කිසි බලපෑමක් කරන්න හදනවා , මම දන්නේ නැහැ, මේක ඇත්තද නැත්තද කියලා. මට ඔප්පු කරන්න විදියක් නැහැ. ඇහෙන දේ තමයි, මේක ‘ධන‘ කරලා පෙන්නන්න කියලා. එහෙම නැත්තං ඡන්දේ එනකං මේ අගය නිකුත් කරන්න එපා කියලා. එහෙම වුණොත් විශාල ප්‍රශ්නයකට අපිට මුහුණ දෙන්න වෙනවා. මොකද අපේ තියෙන විශ්වාසනීයත්වය බිඳ වැටෙනවා. මොකද ‘ධන‘ නම් ධන කියලා පෙන්වන්න ඕනේ, ‘සෘණ‘ නම් සෘණ කියලා පෙන්වන්න ඕනේ. ඇත්ත කතාව ජනතාවට කියන්න ඕනේ.“
“දැන් මේ කොවිඩ් ප්‍රශ්නයක් කියලා කල් දාන්න බැහැ. මොකද කොවිඩ් එකට රට ලොක්ඩවුන් කළේ ජනාධිපතිතුමා මාර්තු මාසේ 20 වෙනිදා. එතකොට මේ කාර්තුව ජනවාරි පළවෙනිදා ඉඳලා මාර්තු 31 වෙනකං විතරයි. යම්කිසි දවස් 8ක විතරයි ලොක්ඩවුන් එකක් තිබිලා තියෙන්නේ. මෙතන වැඩ කරන්නේ නිලධාරීන්. Statisticians ලා, ඔවුන් වෘත්තීයවේදීන්. ඔවුන්ට මනා දැනුමක් හැකියාවක් තියෙනවා, මේවා එස්ටිමේට් කරන්න. හැමදාමත් මේක කළා. ඇයි මේ ප්‍රමාදය? ඉතිං මම ඔවුන්ට කිව්වේ කරුණාකරලා, මේ දත්ත ඉදිරිපත් කරන්න. එතකොට මේ කොවිඩ් එකේ හේතුවක් නිසා නෙමෙයි මේ ආර්ථිකය සෘණ වෙලා තියෙන්නේ. කොවිඩ් එකට කලින් ආර්ථිකය සෘණ වෙලා තියෙන එක තමයි මෙතන තියෙන ප්‍රධානම ගැටළුව.“
“දැන් ඊයේ (28) ආසියානු සංවර්ධන බැංකුවෙන් නිකුත් කරලා තියෙනවා වාර්තාවක්, ඔවුන්ගේ ඇස්තමේන්තුව 2020 ශ්‍රී ලංකා ආර්ථික වර්ධනය සෘණ 6.1යි කියලා. එතකොට කිසි දවසක මෙහෙම දෙයක් අපි දැකලා නැහැ. මහ බැංකුව කලින් විශ්වාස කළා, ධන 1.5 ක් වෙයි කියලා. නමුත් අපි දන්නේ නැහැ ඇත්ත කතාව මොකක්ද කියලා. මේ පළවෙනි කාර්තුවේ විස්තරය ඉදිරිපත් කරන්න ඕනේ.“
“අනිත් පැත්තෙන් බලාගෙන යනකොට විශාල අර්බුදයකට රට ගමන් කරනවා. අයවැය පරතරය සියයට 11කට වාගේ ප්‍රමාණයකට ගමන් කරයි කියලා තමයි අද වෙනකොට ආර්ථික විශේෂඥයින් අනුමාන කරන්නේ. අනෙක් පැත්තෙන් බලනකොට රටේ ආදායම, භාණ්ඩාගාරේ ආදායම විශාල වශයෙන් පහළ බැහැලා. බලාපොරොත්තු වුණ ප්‍රමාණයෙන් මම හිතන්නේ 60%ක් 70% ක් වත් ලැබිලා නැහැ. පළවෙනි මාස 04ට මුළු ආදායම, සමස්ත බදු ආදායම ආණ්ඩුවේ රු. බිලියන 408 යි. හැබැයි ඒ මාස 04ට විතරක් රජයේ ණය වැඩිවෙලා තිබෙනවා රු. බිලියන 994 කින්. එහෙමත් නැත්නම් රුපියල් බිලියන දාහකින්. රුපියල් ට්‍රිලියනයකින්. ඒ කියන්නේ ගිය ආණ්ඩුවේ අවුරුදු 5ටම වැඩිවෙලා තියෙන්නේ රු. බිලියන 5,600 කින්. නමුත් මේ ආණ්ඩුවේ මේ පළවෙනි මාස 04ට ණය වැඩිවෙලා තියෙනවා, බිලියන දාහකින්. එතකොට සන්සන්දනය කරන්න පුළුවන් ඕන කෙනෙක්ට. අනිත් පැත්තෙන් බලන කොට විදේශ ණය ගන්න සම්පූර්ණයෙන්ම බ්ලොක් වෙලා. දැන් මහ බැංකුවම නිවේදනයක් නිකුත් කරලා කියනවා, ඔව් අපි ඩොලර් බිලියන 1,000 ක් ඇපයට තියන්න එකඟ වුණා කියලා, ඩොලර් බිලියන 1,000 ක ණයක් ලබාගන්න, නිව්යෝර්ක් ෆෙඩරල් රිසර්ව් ඇමරිකාවේ බැංකුවෙන්.“
“ඉතිං මේ විශාල ආර්ථික අවපාතයකට මේ රට ගමන් කරනවා. හැබැයි ආණ්ඩුව කොයි හරි විදියකට කිනවා නම්, අපිට මේ දත්ත ඉදිරිපත් කරන්න එපා කියලා, එතන විශාල ගැටළුවක් අපි දකිනවා. මොකද ජනතාව හැටියට තොරතුරු දැනගැනීමේ අයිතියකුත් අපිට තියෙනවා. මම අවසාන වශයෙන් ඔවුන්ට කිව්වේ, කරුණාකරලා වෘත්තීයවේදීන් හැටියට තමන්ගේ වෘත්තීය ගරුත්වය රැකගෙන මේ දත්ත තවදුරටත් පමා කරන්නේ නැතුව වහාම ඉදිරිපත් කරන්න කියලා.“
Video Story