කැරට් 24 රන් පවුමක් රු. එක්ලක්ෂ දසදහස පනී. රත්‍රං මිල තවදුරටත් ඉහළට

    August, 10, 2020

    මේ වන විට මෙරට වෙළෙඳපොළේ රත්‍රං මිලෙහි සීඝ්‍ර ඉහළ යාමක් වාර්තා වේ. Colombo Gold Centre ෆේස්බුක් පිටුවට අනුව මේ වන විට කැරට් 24 රන් පවුමක මිල රු. 110,000/- ක් ලෙසින් සටහන් වන අතර කැරට් 22 රන් පවුමක මිල රු. 100,850/- ක් ලෙසින් වාර්තා වේ. මීට අමතරව කැරට් 21 රන් පවුමක මිල දැක්වෙන්නේ රු. 96,250/- ක් ලෙසිනි.

    මේ සම්බන්ධයෙන් අද දෙරණ Biz කළ සොයා බැලීමක දී වාර්තා වූයේ දිවයිනේ ඇතැම් ප්‍රදේශවල රන් මිල ගණන් මෙම සීමාවන් ද ඉක්මවා ගොස් තිබෙන බවයි.  රන් මිල පාලනය සම්බන්ධයෙන් නියාමන ආයතනයක් මේ වන විටත් ශ්‍රී ලංකාවේ නොමැති අතර ඒ හේතුවෙන් විවිධ මිල ගණන් යටතේ රත්‍රං අලෙවි වන බව වාර්තා වේ.

    කොවිඩ්-19 වසංගතය පැමිණීමත් සමගම ලෝක වෙළෙඳපොළේ රත්‍රං මිල ගණන් සීඝ්‍රයෙන් ඉහළ ගිය අතර අද වන විට ලෝක වෙළෙඳපොළේ රන් අවුන්සයක මිල ඩොලර් 2,000 සීමාව ද ඉක්මවා ගොස් තිබේ.

    මේ සම්බන්ධයෙන් අද දෙරණ Biz කළ විමසීමක දී ජාතික මැණික් හා ස්වරණාභරණ අධිකාරියේ, රන් ප්‍රමාණ හා මැණික් පර්යේෂණාගාර උපදේශක ආචාර්ය ප්‍රශාන් ෆ්‍රැන්සිස් මහතා පැවසුවේ හේතු සාධක කිහිපයක් මත මෙරට රන් මිල ඉහළ ගොස් ඇති බවයි. කොවිඩ්-19 වසංගත තත්ත්වය හේතුවෙන් ජාතික බැංකු, පුද්ගලික බැංකු හා උකස් මධ්‍යස්ථාන ආශ්‍රිතව සිදුකෙරෙන රන් වෙන්දේසි අකර්මණ්‍ය වීම මීට ප්‍රධාන වශයෙන් හේතු වූ බව ඔහු කියා සිටියේය.

    මේ අතර ලෝක වෙළෙඳපොළේ රන් මිල ඉහළ යාම සම්බන්ධයෙන් ආචාර්ය ප්‍රශාන් ෆ්‍රැන්සිස් මහතා මහතා මෙසේ කරුණු දැක්වීය.

    “රත්‍රං හමුවන ප්‍රධාන රටවල් වන කැනඩාව, ඇමරිකාව, දකුණු අප්‍රිකාව රන් සීමා කිරීමක් කරනවා. නමුත් කිර්කිස්ථානය, ටජිකිස්ථානය, කසකස්ථානය, උස්බෙකිස්ථානය, ඇෆ්ගනිස්ථානය වැනි බෙලරුසියානු රටවල රත්‍රං ඒ හා සමානවම හමුවෙනවා. මේ රත්‍රං ප්‍රධාන වශයෙන්ම පාලනය කරන්නේ චීන වෙළෙඳුන් විසින්. චීනයේ ඇති වූ තත්ත්වය සමඟ ඒ වෙළෙඳාමත් අඩපණ වුණා. එම නිසා ලෝක වෙළෙඳපොළේ රන් මිලේ විශාල වෙනසක් සිදුවුණා. උස්බෙකිස්ථානයේ තමයි ලෝකයේ විශාලතම open pit gold mine එක තියෙන්නේ. ඊට අමතරව කසකස්ථානයත් ලෝක වෙළෙඳපොළට විශාල රන් ප්‍රමාණයක් අවුරුදු පතා එකතු කරනවා. මේ දවස්වල ඒ වෙළෙඳාම අකර්මණ්‍ය වෙලා තියෙන නිසා ලෝක වෙළෙඳපොළෙහි රන් මිලෙහිත් විශාල වැඩිවීමක් වෙලා තියෙනවා. එය අපි වගේ කුඩා රටකටත් ඉතා තදින් දැනෙනවා.“

    මේ අතර සිංගප්පූරුවේ සහ ඩුබායි සිට මෙරටට ගුවන් මගින් පැමිණෙන මඟීන් හරහා සැලකිය යුතු රත්‍රං ප්‍රමාණයක් ශ්‍රී ලංකාව තුළට එන බවත්, කොවිඩ්-19 වසංගතය හේතුවෙන් ගුවන්ගමන් සීමා වීම තුළ මෙරටට එයාකාරයෙන් ඇදී එන රන් ප්‍රමාණය ඇණහිට ඇති බවත් ආචාර්ය ප්‍රශාන් ෆ්‍රැන්සිස් මහතා මෙහිදී කියා සිටියේය. “මේ හේතුවත් එක්තරා විදියකට රන් මිල වැඩිවීමට බලපාලා තිබෙනවා“, ඔහු වැඩිදුරටත් පැවසීය.