සෙලින්කෝ ලයිෆ් 2020 පළමු මාස 06 සඳහා රුපියල් බිලියන 17.1 ක ආදායමක් වාර්තා කරයි

    August, 20, 2020

    • රක්ෂණ වාරික ආදායම 13%කින් රුපියල් බිලියන 9 දක්වා ඉහළට
    • ආයෝජන සහ අනිකුත් ආදායම් 4% කින් රුපියල් බිලියන 7.2 දක්වා වර්ධනය වෙයි
    • ශුද්ධ හිමිකම් සහ ප‍්‍රතිලාභ ගෙවීම් 8% වර්ධනයක් සමඟ රුපියල් බිලියන 5.9 ක් වෙයි

    සෙලින්කෝ ලයිෆ් සමාගම 2020 පළමු වන අර්ධයේදී රුපියල් බිලියන 17.1 ක දළ ආදායමක් ලබාගැනීමට සමත්වී තිබෙන අතර එය මීට පෙර වසරේ අදාළ කාලය සමග සැසඳීමේදී 14.9%ක වර්ධනයක් බවත් සමාගමේ ප‍්‍රධාන ව්‍යාපාරය කෙරෙහි දක්වන නිරන්තර අවධානය මෙන්ම විචක්ෂණශීලී ආයෝජන කළමණාකරනය තුළින් අභියෝගාත්මක පරිසරයකදී වුවද සිය ව්‍යාපාරික පරිමාව වර්ධනය කරගැනීමට සමාගමට තිබෙන හැකියාව මෙමගින් පෙන්නුම් කරන බවත් නිවේදනය කර ඇත.

    මේ අනුව, 2020 ජුනි 30 වනදායින් අවසන් වන මාස 06 ක කාලය තුළදී සමාගමේ දළ ලිඛිත රක්ෂණ වාරික ආදායම (GWP) මෙන්ම ආයෝජන සහ අනිකුත් ආදායම් සමාගමේ ආදායම් වර්ධනය සඳහා දායකත්වය ලබාදෙමින් පිළිවෙලින් 13%කින් රුපියල් බිලියන 9.9 ක් දක්වාද 17.4%කින් රුපියල් බිලියන 7.2 ක් දක්වාද වර්ධනය වූ බව සමාගම සඳහන් කරයි.

    සලකා බලන කාල සීමාව තුළදී සමාගම විසින් සිය රක්ෂණ ඔප්පුහිමියන්ට රුපියල් බිලියන 5.9 ක ශුද්ධ හිමිකම් සහ ප‍්‍රතිලාභ ගෙවා තිබෙන අතර එය 2019 පළමු අර්ධය සමග සැසඳීමේදී 17.8% ක වර්ධනයකි. සමාගම විසින් 2020 පළමු අර්ධය තුළදී ජීවිත රක්ෂණ අරමුදලට රුපියල් බිලියන 4.4 ක මුදලක් සහ කොටස්කරුවන්ගේ අරමුදලට රුපියල් බිලියන 1.95 ක මුදලක් බැර කර තිබෙන අතර රුපියල් බිලියන 34.4 දක්වා කොටස්කරුවන්ගේ අරමුදල 9.2% කින් වර්ධනය වූ බව සමාගම වාර්තා කර තිබේ.

    මෙම කාලය තුළදී සමාගමේ බදු වලට පෙර ලාභය රුපියල් බිලියන 3.5 ක්වී තිබෙන අතර එය 2019 පළමු අර්ධය සමග සැසඳීමේදී 6.7% ක පහළ බැසීමකි. එසේම, සලකා බලන කාල සීමාව තුළදී සමාගමේ බදු වලට පසු ලාභය 4.6% කින් පහළ ගොස් රුපියල් බිලියන 2.7 ක්වූ බව සමාගම පවසයි.

    2020 දෙවන අර්ධය අවසානයේදී සමාගමේ ජීවිත රක්ෂණ අරමුදල සුවිශේෂී සංධිස්ථානයකට පැමිණ රුපියල් බිලියන 100 සීමාව පසුකර යමින් රුපියල් බිලියන 101.6 ක්වී ඇත. මෙහිදී, සෙලින්කෝ ලයිෆ් ජීවිත අරමුදල කැපී පෙනෙන්නේ මෙරට ජීවිත රක්ෂණ අංශයේ රුපියල් බිලියන 100 සීමාව වේගයෙන්ම පසුකළ ජීවිත අරමුදල ලෙසයි.

    ‘කොවිඞ්-19 වසංගත තත්ත්වය නිසා මේ වසරේ දෙවන අර්ධය ලෝකය පුරා ව්‍යාපාර වලට ඉතාමත් අසීරු කාලයක් බවට පත්වුණා. මෙම තත්ත්වය සමාගම්වල ලාභදායීතාවයට සෘණාත්මකව බලපෑවා,’ යනුවෙන් මේ පිළිබඳව අදහස් දක්වමින් සෙලින්කෝ ලයිෆ් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂක, තුෂාර රණසිංහ මහතා පැවසීය. ‘මෙම වසංගත තත්ත්වයේ පීඩනය සමාගමට ඉදිරි කාර්තුවේදීත් බලපානු ඇතැයි අපි විශ්වාස කරනවා. නමුත්, සෙලින්කෝ ලයිෆ් සමාගමේ මූල්‍ය ශක්තිය සහ ස්ථායීතාවය මෙන්ම කළමනාකරණ නිපුණතාව හමුවේ මෙම සෘණාත්මක බලපෑම අවම කරගත හැකියැයි අපට විශ්වාසයි. මේ නිසා, පවතින තත්ත්වය හමුවේ වුවද අපගේ රක්ෂණ ඔප්පුහිමියන්ට සහ කොටස්හිමියන්ට හොඳම ප‍්‍රතිලාභයක් අපට ලබාදිය හැකියි.’

    2019 දෙසැම්බර් 31 වනදා සිට සෙලින්කෝ ලයිෆ් සමාගමේ සමස්ත වත්කම් ප‍්‍රමාණය රුපියල් බිලියන 24.6 කින් හෙවත් 18.5%කින් වර්ධනය වී 2020 ජුනි 30 වනදා වනවිට රුපියල් බිලියන 157.8 ක්වී තිබේ. මේ අතර, සලකා බලන මාස හයක කාලය තුළදී සමාගමේ ආයෝජන කළඹ රුපියල් බිලියන 23.4 කින් හෙවත් 20% කින් වර්ධනය වී රුපියල් බිලියන 140.3 ක්වී ඇත.

    සෙලින්කෝ ලයිෆ් සමාගම රුපියල් බිලියන 32.1 ක ඒකාබද්ධ ආදායමක් වාර්තා කරමින් 2019 මූල්‍ය වසර ශක්තිමත් ලෙස අවසන් කළ අතර එය 9.9% ක ආදායම් වර්ධනයකි. එම වසරේදී රුපියල් බිලියන 18.7 ක දළ ලිඛිත වාරික ආදායම් වර්ධනයක් ලබා ගනිමින් මෙරට ජීවිත රක්ෂණ අංශයේ වෙළඳපොළ ප‍්‍රමුඛයා ලෙසින් පිට පිටම 16 වන වතාවටත් පෙරමුණේ සිටීමට සමාගමට හැකිවිය.

    සෙලින්කෝ ලයිෆ් සමාගම ආරම්භ කර ගෙවුණු වසර 32 හි දෙවන අර්ධය පුරා මෙරට ජීවීත රක්ෂණ ක්ෂේත‍්‍රයේ ප‍්‍රමුඛයා බවට පත්වීමට සමත්වී තිබේ. 2020 වසරේදී බ‍්‍රෑන්ඞ් ෆයිනෑන්ස් විසින් මෙරට වටිනාම ජීවිත රක්ෂණ සන්නාමය ලෙසත් ස්ලිම්-නීල්සන් විසින් අඛණ්ඩව 14 වන වසරටත් මෙරට වඩාත්ම ජනප‍්‍රිය ජීවිත රක්ෂණ සමාගම ලෙසත් සෙලින්කෝ ලයිෆ් සමාගම සම්මානයට පාත‍්‍ර විය. එසේම, 2019 වසරේදී ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයේ ශී‍්‍ර ලංකා ශාඛාව විසින් මෙරට ගෞරවණීයම සමාගම් 10 ලැයිස්තුවටද සමාගම ඇතුළත් කළ අතර 2019 වසරේදී වර්ල්ඞ් ෆයිනෑන්ස් මගින් අඛණ්ඩව හයවන වතාවටත් මෙරට හොඳම ජීවිත රක්ෂණ සමාගම ලෙසත් බිස්නස් ටුඬේ ශ්‍රේණිගත කිරීමේදී සමස්තයක් වශයෙන් මෙරට ප‍්‍රධානතම සමාගම් 30 අතුරින් 06 වන ස්ථානයටත් සමාගම තෝරා ගන්නා ලදී.

    සෙලින්කෝ ලයිෆ් සක‍්‍රීය රක්ෂණ ඔප්පු මගින් ජීවිත ලක්ෂ 10 කට ආසන්න ගණනක් ආවරණය කර තිබේ. නවෝත්පාදනය, නිර්මාණශීලී සැලසුම් හඳුන්වාදීම සහ සංවර්ධනය, පාරිභෝගික සේවා, වෘත්තීය සංවර්ධනය සහ ආයතනික සමාජ වගකීම යන අංශ සම්බන්ධයෙන් සෙලින්කෝ ලයිෆ් සමාගම දේශීය රක්ෂණ ක්ෂේත‍්‍රයේ මිනුම් ලකුණක් ලෙසට පිළිගැනීමට ලක්වේ.