රාජ්‍ය සේවකයින්ට සතියකට දවසක් බතික් ඇඳුම් අඳින්න නීතියක්

    August, 21, 2020

    වර්තමානය වන විට මෙරට බතික් කර්මාන්තය මෙන්ම දේශීය ඇඟලුම් කර්මාන්තය සම්පූර්ණයෙන්ම කඩා වැටීමකට ලක්ව ඇති බව බතික්, අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇඟලුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසයි. ඊයේ (20) පාර්ලිමේන්තු සැසිවාරයෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියේය. මේ වන විට බතික් ආනයනය සම්පූර්ණයෙන් නවතා දැමීමට පියවර ගෙන ඇති බව පැවසූ රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේ රාජ්‍ය සේවකයින්ට සතියකට එක් දවසක් බතික් හෝ දේශීය ඇඟලුම්වලින් සැරසී රාජකාරියට වාර්තා කළ හැකි පරිදි නීතියක් වහාම ගෙනඒමට කටයුතු කරන බවයි.

    “අද ලංකාවේ විශාලම අර්බුදය බවට පත්වෙලා තියෙන්නේ විශාල වශයෙන් පිටරටින් ගේන සාරි බතික් නිෂ්පාදන ඒ වගේම ඇඟලුම්.  මේ නිසා ලංකාවේ නිෂ්පාදන සියල්ල කඩා වැටිලා තියෙන්නේ.  ඒ වගේම ලංකාවේ බතික් කර්මාන්තය කඩා වැටිලා එක පැත්තකින්. අනෙක් පැත්තෙන් දේශීය ඇඟලුම් සම්පූර්ණයෙන් විශාල විනාශයට පත්වෙලා තියෙනවා. ඔවුන්ට විශාල අර්බුද ගණනාවකට මුහුණ දෙන්න සිදුවෙලා තියෙනවා.“

    “මම බලාපොරොත්තු වෙනවා අනාගතයේ දී, මේ ක්‍රියාවලිය තුළ ශක්තිමත් දේශීය ආර්ථිකයක් ගොඩනඟන්න ඕනෑ නම් අපිට අපේ ඇඳුම් ටික අපිම මහගෙන ඇඳගන්න පුළුවන් වාතාවරණයක් ශක්තියක් අපිට ඉතිහාසයේ තිබුණා. අපේ ඇඟලුම් කර්මාන්තය ඉතාම ශක්තිමත්ව තිබුණු කාලයක් තිබුණා. අත්යන්ත්‍ර රෙදිපිළි කර්මාන්තය ඉතාම ඉහළ තැනක තිබුණු තත්ත්වයක් තිබුණා. එය කඩා වැටිලා තියෙන්නේ දැන්. සම්පූර්ණයෙන්ම නැවත එය නඟා සිටුවන්න, ලංකාවට බතික් ආනයනය සම්පූර්ණයෙන් දැන් නවත්වලා තියෙනවා. ඒ වගේම දේශීය ඇඟලුම් කර්මාන්තය ශක්තිමත් කරන්න අපි වැඩපිළිවෙල් රාශියක් ක්‍රියාත්මක කරනවා.“

    “ඒ වගේම හැම සතියකම එක දවසක් රාජ්‍ය සේවකයන් බතික් හෝ නැතිනම් දේශීය රෙදි, ඔවුන්ට කාර්යාලවලට ඇඳගෙන යන්න පුළුවන් නීතියක් අපි වහාම ගේනවා. ඒකත් එක්කම ඒවායේ ගණන් අඩුකරන්න ඕනේ. අද සාරිය විශාල ගාණක් වෙනවා. ඒ නිසා එයත් අඩුකරලා අපි ඒ වැඩපිළිවෙල සකස් කරනවා.“