2020 සැප්තැම්බර් 17 සිට කොටස් වෙළෙඳපොළේ සියලු කටයුතු ඩිජිටල්කරණයට

    September, 1, 2020

    කොළඹ කොටස් වෙළඳපොළ සම්පූර්ණයෙන් ම ඩිජිටල්කරණය කර අවසන් බව දැනුම් දීමට සහ අභිනව ඩිජිටල් කොටස් වෙළෙඳපොළ සමාරාම්භක අවස්ථාවට ආරාධනා කිරීමට සුරැකුම්පත් හා විනිමය කොමිසන් සභාවේ නියෝජිත පිරිසක් ඊයේ (31) අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවිය.

    නව මානයකින් ලෝකයට නිරාවරණය වීමේ ක්‍රමෝපායක් ලෙස කොටස් වෙළෙඳපොළ ඩිජිටල්කරණය කිරීමේ ක්‍රියාවලිය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් මත ආරම්භ කෙරණි. ඒ අනුව සැප්තැම්බර් 17 දින සිට කොටස් වෙළඳපොළෙහි සියලු කටයුතු ඩිජිටල්කරණය වීමට නියමිතය.

    සුරැකුම්පත් හා විනිමය කොමිසන් සභාවේ සභාපති විරාජ් දයාරත්න මහතා හා අධ්‍යක්ෂ ජනරාල් චින්තක මෙන්ඩිස් මහතා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මුණ ගැසී ප්‍රකාශ කර සිටියේ කොවිඩ්-19 හේතුවෙන් දින 52ක් කොළඹ කොටස් වෙළෙඳපොළ කටයුතු අඩපණ වුවද, සම්පූර්ණයෙන්ම ඩිජිටල්කරණ වූ කොටස් වෙළඳපොළ නව මුහුණුවරකින් ලෝකය සමඟ ගනුදෙනු කිරීමට සූදානම් බවය.

    එසේම රටේ ඉදිරි සංවර්ධන කටයුතු සඳහා සුවපහසු මෙන්ම කාර්යක්ෂම සේවයක් කොළඹ කොටස් වෙළඳපොළ ඔස්සේ ලබාදීම සිය ප්‍රමුඛ අරමුණ බව ද ඔවුහු පැවසූහ.

    සුරැකුම්පත් හා විනිමය කොමිසන් සභාවේ සභාපති විරාජ් දයාරත්න සහ අධ්‍යක්ෂ ජනරාල් චින්තක මෙන්ඩිස් මහත්වරු සැප්තැම්බර් 17 වෙනිදා එම අවස්ථාවට සහභාගී වන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත ආරාධනා පත්‍රය පිරිනැමීම ද එහි දී සිදුවිය.