නිසි පරිදි නඩත්තු නොකිරීම හේතුවෙන් දැනට භාවිතයට නොගන්නා වාහන විශාල සංඛ්‍යාවක් රාජ්‍ය ආයතනවල පවතින බව නිරීක්ණය වී ඇති අතර, 2020 අගෝස්තු 31 දින වන විට අලුත්වැඩියා කර භාවිතයට ගත හැකි වාහන 4,116ක් සහ අපහරණය කිරීමට සුදුසු වාහන 5,588ක් පවතින බව ද හඳුනාගෙන ඇත.
ඒ අනුව, අලුත්වැඩියා කර භාවිත කිරීම ඵලදායී වන වාහන අලුත්වැඩියා කිරීම සඳහා අදාළ ආයතනයන්ට අවශ්‍ය ප්‍රතිපාදන නොමැති අවස්ථාවන්හි දී ජාතික අයවැය දෙපාර්තමේන්තුව මඟින් ඒ සඳහා වන ප්‍රතිපාදන සලසා දීමටත්, එලෙස අලුත්වැඩියා කරනු ලබන වාහන, ප්‍රමාණවත් වාහන නොමැති රාජ්‍ය ආයතන වෙත මුදල් අමාත්‍යාංශය යටතේ ඇති කොම්ප්ට්‍රොලර් ජනරාල් කාර්යාලය හරහා විධිමත් පරිදි ලබා දීමටත්, අලුත්වැඩියා කළ නොහැකි වාහන විධිමත් ක්‍රමවේදය අනුගමනය කරමින් අපහරණය කිරීමටත් මුදල් අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
“රජය ලෙස දැනටමත් ලංකාවට වාහන ආනයනය කිරීම නතර කොට තිබෙනවා. රජයේ කාර්යාලවල අවශ්‍යතාවය සඳහා මෙම ප්‍රතිසංස්කරණය කරන ලද වාහන නැවත ලබාගෙන එම වාහන ඵලදායීව යොදවා ගන්නට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා“, යැයි මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් සම කැබිනට් ප්‍රකාශක අමාත්‍යා රමේෂ් පතිරණ මහතා, අද (03) පෙරවරුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී කියා සිටියේය.