හවාලා ක්‍රමය හරහා දැවැන්ත මුදලක් ශ්‍රී ලංකාවට එනවා – රාජ්‍ය අමාත්‍ය කබ්රාල්

    October, 5, 2020

    ශ්‍රී ලංකාවට හවාලා ක්‍රමය හරහා විශාල මුදලක් පැමිණෙන බව මුදල්, ප්‍රාග්ධන වෙළෙඳපොළ හා රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි. අද (05) පෙරවරුවේ ශ්‍රී ලංකා මහ බැංකු පරිශ්‍රයේ පැවති “රට පුරාම LANKAQR“ වැඩසටහන සමඟ එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියේය. ශ්‍රී ලංකා මහ බැංකුව මුල්‍ය ආයතන සමඟ එක් ව LANKAQR ගෙවීම් යෙදුම භාවිතා කිරීමේ වැඩසටහන, “රට පුරාම LANKAQR“ යන තේමාව යටතේ දියත් කරනු ලැබූ අතර එම දීපව්‍යාප්ත වැඩසටහනේ දෙවන අදියර ලෙස අද දින මෙය පැවැත්විණි.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මුදල්, ප්‍රාග්ධන වෙළෙඳපොළ හා රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා,

    “අපි දකිනවා පිටරටවලින් දැවැන්ත මුදලක් මේ රටට එනවා හවාලා සිස්ටම් එක හරහා.  අපි ඒ ගැන සාකච්ඡා නොකෙරුවත් අපි දන්නවා ඒක සිදුවෙනවා කියලා. ඕනෑම කෙනෙක් දන්වා විකල්ප ක්‍රමවේද ලෝකය හඳුනාගෙන ඒවා කටයුතු කරගෙන යනවා. මෙවැනි ක්‍රමවේද (QR) හරහා පහසු කරලා, ඒ ක්‍රමවේද ආරක්ෂා සහිතව කරන්න පුළුවන් නම්, ඉතාම අඩු ගාස්තුවකට කරන්න පුළුවන් නම්, බොහෝ රටවල ඉන්න ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් මේ ක්‍රමවේද පාවිච්චි කරලා තමන්ට අවශ්‍ය වෙන මුදල් මේ රටට ගලා එන්න සලස්වන්න පුළුවන්.“

    හවාලා යනු භෞතික චලනයකින් තොරව මුදල් මාරු කිරීමේ අවිධිමත් ක්‍රමයකි. හවාලා පිළිබඳ ඉන්ටර්පෝල් හි අර්ථ දැක්වීම "මුදල් චලනයකින් තොරව මුදල් හුවමාරුව" යන්නයි. තවත් අර්ථ දැක්වීමක් වන්නේ “විශ්වාසය” යන්නයි. සාම්ප්‍රදායික බැංකු ක්‍රමවලින් බැහැරව පවතින ප්‍රේෂණ නාලිකාවක් ලෙස වර්තමානයේ දී හවාලා භාවිතා වේ.

    මේ අතර තාක්ෂණයේ සිදුවන වෙනස්කසම් පිළිබඳ නිරන්තර අවදියෙන් සිටිය යුතු බව රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය.

    “තාක්ෂණය ඉතාම ඉක්මනින් දියුණු වෙනවා. අද මෙහි එළිදක්වපු QR තාක්ෂණය 2016 දී ඉන්දියාවේ භාවිතා කරන්න පටන් අරන් තිබුණේ. 2017 දී තායිලන්තයේ දී පාවිච්චි කරන්න පටනු අරන් තිබුණා. 2011 දී චීනයේ WeChat පටන් ගත්තා. අපි අවුරුදු 3-4ක් පසුපස හිටියත් ඒක දිගුකාලයක් කියලා අපිට හිතන්න පුළුවන්. ඉදිරියේ දී මේ තාක්ෂණයත් සමඟ සම්බන්ධ වෙලා යන්නට නම් අපි මේ තාක්ෂණයේ සිදුවන වෙනස්කම් දිනපතාම හොයන්නට ඕනේ. මාසයක් දෙකක් කියන්නේ දීර්ඝ කාලයක්. තාක්ෂණය දියුණූ වෙන කොට තාක්ෂණයත් සමඟ අපි යනවා නම්, ඒ තාක්ෂණය ගැන හොඳ අවබෝධයක් අපිට තියෙන්න ඕනේ. Doing Business Indicators වර්ධනය කරන්නට නම් තවදුරටත් තාක්ෂණය  උපයෝගී කර ගන්න අවශ්‍යයි.“