October, 6, 2020
රුපියල් ලක්ෂ 15 ක් දක්වා වන ජ්‍යෙෂ්ඨ පුරවැසි ගිණුම් වෙනුවෙන් සියයට 15ක පොළී අනුපාතයක් මේ වන විට ගෙවනු ලබන බවත් අවශ්‍ය නම් බැංකුවක් වෙත ගොස් ඒ බව තහවුරු කරගත හැකි බවත් මුදල්, ප්‍රාග්ධන වෙළෙඳපොළ හා රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි. අද (06) දින පාර්ලිමේන්තුවේ දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් යොමුකරන ලද ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව අවධාරණය කළේය.
විපක්ෂ නායක සජිත් - මම පොළී අනුපාතය අඩුවීම පිළිබඳව ප්‍රශ්න කළේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට සාපේක්ෂව. කර්මාන්තකරුවන් ගැනවත් වෙනත් ක්ෂේත්‍ර ගැනවත් නෙමෙයි.
රාජ්‍ය අමාත්‍ය කබ්රාල් - විශේෂයෙන්ම වැඩිහිටියන් පිළිබඳව අපි සැලකිලිමත් වෙලා තියෙනවා. ඒ නිසා තමයි අපි මුලින්ම පටන් ගත්තේ රුපියල් මිලියන 1 1/2 ක් වෙනුවෙන් වැඩිපුර පොළියක් ගෙවන්න සියයට 15 ක. ඒක දැන් වෙන කොට සියයට 10ක වගේ වට්ටමක් වෙලා තියෙනවා. දැන් පොළී අනුපාතය සියයට 15ක් අපි ලබා දෙනවා නම් බැංකුවලින් ගෙවන්නේ සියයට 5 නම්, සියයට 10ක් ගෙවන්නේ රජයෙන්. ඒ කොටස රජය විසින් භාර අරගෙන තියෙනවා. ඒ නිසා ඔබතුමා සෑහීමකට පත්වේවි. එච්චර මුදලක් රජයෙන් වෙන්කරලා, ඒ සඳහා අපි ලබා දෙනවා.
විපක්ෂ නායක සජිත් - ඔබතුමා නොමග යවන පිළිතුරක් දුන්නා. ගරු කථානායකතුමනි, අද ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට සියයට 15ක පොළී අනුපාතයක් ලැබෙනවා තියලා මෙතුමා කියනවා. ඒක හරිද? සියයට 15ක් ලැබෙනවාද? වගකීමෙන් කියන්න. බොරු කියන්න එපා.
රාජ්‍ය අමාත්‍ය කබ්රාල් - ඔබතුමා කෙටි ප්‍රශ්නයක් ඇහුවානම් මම කෙටි උත්තරයක් දෙනවා. ඔබතුමා දීර්ඝ ප්‍රශ්නයක් අහලා තියෙනවා. මෙච්චර කුඩා අකුරෙන් පිටු දෙකක දීර්ඝ ප්‍රශ්නයක් අහලා තියෙනවා. ඔබතුමාත් කැමති ඇතිනේ හොඳ දීර්ඝ උත්තරයක් දෙනවාට. ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට අපි ඒක ලබා දීලා තියෙනවා. සියයට 15 දෙනවා අපි. ඇයි ඔබතුමා කැමති නැද්ද ඒක දෙනවාට?
විපක්ෂ නායක සජිත්- මම ඇහුවා ප්‍රශ්නයක්. ජෙයෂ්ඨ පුරවැසියන්ට අද ලබා දෙන පොළී අනුපාතය පිළිබඳව. එතුමා කියනවා, වගකීමෙන් කියනවාලු, අද දවසේ මේ මොහොතේ සියයට 15ක් ලබා දෙනවා කියලා. ඒක හරිද?
රාජ්‍ය අමාත්‍ය කබ්රාල් - රුපියල් පහළොස් ලක්ෂයක් වෙනුවෙන් සියයට 15 ගෙවනවා.
විපක්ෂ නායක සජිත් - ගරු කථානායකතුමනි, අද දවස වෙනකොට ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට සියයට 15 ක පොළී අනුපාතයක් ලබා දෙනවා කියලා, කබ්රාල් ඇමතිතුමා කිව්වා, ඒක ඇත්තද?
රාජ්‍ය අමාත්‍ය කබ්රාල් - ඒක බොරු නෙමෙයි. ඒක ඇත්ත. ඔබතුමා බැංකුවට ගිහිල්ලා අහන්න. ඒක දෙනවා.
Video Story