October, 6, 2020
ඊයේ (05) දිනයේ දී ඉතිහාසයේ තනි දිනයක් තුළ දරුණුතම කඩා වැටීම (ඒකක 462.99 ක්) වාර්තා වූ කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද (06) දිනයේ දී ඉහළ උච්ඡාවචනයන් මැද ඒකක 52.57 ක පහළ යාමක් වාර්තා කළේය. ඒ අනුව දිනය අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය දැක්වුණේ ඒකක 5,534.61 ක් ලෙසිනි.
ඒකක 5,587.18 ක් ලෙසින් ඊයේ (05) දිනය අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය සටහන් වූ අතර අද පෙරවරුවේ ගනුදෙනු ආරම්භ වී සුළු මොහොතකින් එය ඒකක 5,393.23 ක් දක්වා ඒකක 193.95ක කඩා වැටීමක් වාර්තා කළේය. නමුත් ඊට සුළු මොහොතකට පසු සියලු කොටස් මිල දර්ශකය ඒකක 5,757.90 ක් දක්වා ඉහළ ගියේ පෙර දිනයට සාපේක්ෂව ඒකක 170.72 ක වර්ධනයක් වාර්තා කරමිනි.
කෙසේ වෙතත් දිනය අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 52.57කින් පහළ ගොස් තිබුණු අතර එය පෙර දිනයට සාපේක්ෂව 0.94% ක පහළ යාමක් ලෙසින් සටහන් විය. මේ අතර S&P SL20 දර්ශකය දිනය අවසානයේ දී ඒකක 2,272.22 ක් ලෙසින් සටහන් වූයේ ඒකක 16.29ක පහළ යාමක් සමඟිනි.
මේ අතර රු. බිලියන 2.80 ක පිරිවැටුමක් අද දින ගනුදෙනුවලින් වාර්තා විය. මෙහිදී එක්ස්පෝ ලංකා හෝල්ඩිංග්ස් රු. මිලියන 499.80 ක්, ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් රු. මිලියන 192.91 ක්. ටෝක්යෝ සිමෙන්ති රු. මිලියන 171.60 ක්, හේලීස් ෆැබ්රික් රු. මිලියන 159.78 ක්, ටෝක්යෝ සිමෙන්ති (ඡන්ද බලය රහිත) රු. මිලියන 153.47 ක්, කොමර්ෂල් බැංකුව රු. මිලියන 108.99 ක් හා හැටන් නැෂනල් බැංකුව රු. මිලියන 102.79 ක් ලෙසින් දෛනික පිරිවැටුමට ඉහළ දායකත්වය ලබාදුන් සමාගම් අතර විය.
සියලු කොටස් මිල දර්ශකයේ හැසිරීම සඳහා සමාගම් 64 ක් ධනාත්මත දායකත්වයක් ලබා දෙන විට සමාගම් 135 ක කොටස් ගනුදෙනු ඊට සෘණාත්මක අයුරින් බලපාන ලදී. සියලු කොටස් මිල දර්ශකය කඩා වැටීමට බුකිට් ඩාරා, සෙලින්කෝ ඉන්ෂුවරන්ස්, කාර්සන් කම්බර්බැච්, සිලෝන් කෝල්ඩ් ස්ටෝර්ස්, බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් යන සමාගම්වල කොටස් මිල පහළ යාම් විශාල වශයෙන් බලපාන ලදී.

Video Story