බාසල් සම්මුතිය උල්ලංඝනය කරමින් කසළ ගෙන්වූවාට ශ්‍රී ලංකාව කෝටි 169 ක් වන්දි ඉල්ලයි

    October, 7, 2020

    බාසල් සම්මුතිය කඩකරමින් මෙරටට ගෙන්වා ඇති කසළ බහාලුම් ප්‍රතිඅපනයනය කිරීම සම්බන්ධයෙන් පරිසර අමාත්‍යාංශය විසින් නිවේදනයක් නිකුත් කර ඇත. එහි වැඩිදුරටත් දැක්වෙන්නේ ඊයේ (06) දිනයේ දී බාසල් සම්මුතියට විෂය ප්‍රකාරව හා නියමිත ක්‍රමවේදයට අනුව මේ පිළිබඳව බාසල් සම්මුතියේ ලේකම් කාර්යාලය වෙත පැමිණිලි කරනු ලැබ ඇති බවයි. තවද ශ්‍රී ලංකාවට මෙතෙක් මෙමඟින් වූ හානිය වෙනුවෙන් රු. 1,694,274,751.00 ක මුදලක් වන්දි ලෙස ලබා දෙන ඉල්ලා සිටින බව එහි වැඩිදුරටත් සඳහන් වේ.

    මෙම සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වේ.

    බාසල් සම්මුතිය කඩකරමින් 2017-2018 වර්ෂවල දී මෙරටට ගෙන්වා ඇති කසළ බහාලුම් 263න් බහාලුම් 130ක් පෞද්ගලික සමාගමක් විසින් කටුනායක නිදහස් වෙළෙඳ කලාපයේ අංගනයක රඳවා ගෙන ඇති අතර, ඉතිරි බහාලුම් 133 කොළඹ වරායේ අංගනයක රඳවා ගෙන තිබුණි.

    බාසල් සම්මුතියට අනුව, වෙනත් රටකින් තවත් රටකට කසළ ගෙන්විය හැකිවන්නේ රටවල් දෙකෙහිම කැමැත්ත මත පමණි. නමුත් එක්සත් රාජධානියේ වෙසෙන ශ්‍රී ලාංකික සම්භවයක් ඇති පුද්ගලයකු විසින් ශ්‍රී ලංකාවේ වෙසෙන තම සහෝදරයකුගේ ද උදව් ඇතිව මෙලෙස කසළ බහාලුම් මෙරටට ගෙන්වා ඇත.

    කොළඹ වරායේ අංගනයක රඳවාගෙන තිබූ කසළ බහාලුම් 133න් 21ක පරීක්ෂණ කටයුතු අවසන් වී ඇති බැවින් හම බහාලුම් 21 පසුගිය 2020.09.27 දින එක්සත් රාජධානිය වෙත ආපසු යැවීමට කටයුතු කර ඇති අතර, ඉන් ඉතිරි කසළ බහාලුම් 112හි පරීක්ෂණ කටයුතු අවසන් වූ වහාම එක්සත් රාජධානිය වෙත නැවත යැවීමට ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව සමඟ කටයුතු කරමින් පවතී.

    මීට අමතරව, ඊයේ දින (2020.10.06) බාසල් සම්මුතියට විෂය ප්‍රකාරව හා නියමිත ක්‍රමවේදයට අනුව මේ පිළිබඳව බාසල් සම්මුතියේ ලේකම් කාර්යාලය වෙත පැමිණිලි කරන ලදී. ඒ අනුව ශ්‍රී ලංකාවට මෙතෙක් මෙමඟින් වූ හානිය වෙනුවෙන් රු. 1,694,274,751.00 (එකසිය හැටනමකෝටි හතළිස් දෙලක්ෂ හැත්තෑහතරදහස් හත්සිය පනස් එකක්) ක  මුදලක් වන්දි ලෙස ලබා දෙන ඉල්ලා සිටී.

     

    169/42/74/751.00