මහ බැංකුවේ බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුව මුළුමනින්ම ප්‍රතිසංවිධානයට –  මූල්‍ය සමාගම් නියාමනය සඳහා නව ආයතනික ව්‍යුහයක්

    October, 13, 2020

    එදිරිසිංහ ට්‍රස්ට් ඉන්වෙස්ට්මන්ට් ලිමිටඩ් සමාගම සම්බන්ධයෙන් සිදු වූයේ යැයි කියන වැරදි ක්‍රියා, අක්‍රමිකතා, අයථා ක්‍රියා, විමර්ෂණය කිරීම, පරීක්ෂා කිරීම හා වාර්තා කිරීම සඳහා විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ.ටී.චිත්‍රසිරි මහතාගේ සභාපතිත්වයෙන් යුත් ජනාධිපති කොමිසමක් ජනාධිපතිතුමන් විසින් 2020-01-09 දින පත් කරන ලදී.

    එකී කොමිෂන් සභාව විසින් සිය නිරීක්ෂණ සහ නිර්දේශ ඇතුළත් වාර්තාව 2020-10-06 දින ජනාධිපතිතුමා වෙත ඉදිරිපත් කර ඇත.

    එකී කොමිෂන් සභාවේ නිරීක්ෂණ සහ නිර්දේශ මඟින් සමාගම් නීතිය, මූල්‍ය සමාගම් පිළිබඳ නීතිය, මුදල් විශුද්ධිකරණ පනත, මූල්‍ය තොරතුරු වාර්තා කිරීමේ පනත, ඉඩම් විදේශිකයන්ට පැවරීමේ නීතිමය රාමුව මෙන්ම, දණ්ඩ නීති සංග්‍රහය යටතේ වන වැරදි රාශියක් සිදු වී ඇති බවට පෙන්වා දී ඇත.

    එසේම, මූල්‍ය සමාගම් අධීක්ෂණය හා නියාමනය සඳහා වන ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුව මුළුමනින්ම ප්‍රතිසංවිධානය කිරීමේ අවශ්‍යතාව ද එකී කොමිෂන් සභා වාර්තාව මඟින් පෙන්වා දී ඇත.

    එම කරුණු කෙරෙහි අමාත්‍ය මණ්ඩලයේ අවධානය යොමු කරමින් ජනාධිපතිතුමා ඉදිරිපත් කරන ලද පහත සඳහන් යෝජනා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    * එදිරිසිංහ ට්‍රස්ට් ඉන්වෙස්ට්මන්ට් ලිමිටඩ් සමාගමේ සිදුවී ඇති මූල්‍යමය හා දේපළ ගනුදෙනු පිළිබඳ අක්‍රමිකතා සම්බන්ධයෙන් ඉහත කොමිෂන් සභා වාර්තාවේ දැක්වෙන නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා කඩිනමින් නීතිමය පියවර ගැනීම පිණිස නීතිපතිවරයාට යොමු කිරීම.

    * මහ බැංකුවේ බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණය සඳහා ඇති දෙපාර්තමේන්තුව මුළුමනින්ම ප්‍රතිසංවිධානය කර මූල්‍ය සමාගම් නියාමනය සඳහා නව ආයතනික ව්‍යුහයක් සකස් කරන ලෙස මුදල් අමාත්‍යාංශයට දැනුම් දීම.

    * අධිකරණ අමාත්‍යතුමා මඟින් එම කොමිෂන් සභා වාර්තාව හා ඒ අනුව ගනු ලබන පියවරයන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම.