ව්‍යවසායකයින් පුහුණු කිරීමේ වැඩසටහනකට ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය සහ කොළඹ විශ්වවිද්‍යාලය අවබෝධතා ගිවිසුමකට අත්සන් තබයි

    December, 7, 2020

    කර්මාන්ත අමාත්‍යාංශයට අනුබද්ධිත ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය (IDB) විසින් තෝරා ගනු ලබන ව්‍යවසායකයින් පුහුණු කිරීම සම්බන්ධව කොළඹ විශ්ව විද්‍යාලයේ කළමනාකරණ පීඨය සමග අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීම අද (07) කොල්ලුපිටියේ කර්මාන්ත අමාත්‍යංශයේදී සිදුකෙරිණි.

    පළමු අදියර යටතේ තෝරාගත් ව්‍යවසායකයින් 50 දෙනෙක් මෙම පුහුණු වැඩසටහනට යොමු කෙරේ. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට සිය ව්‍යාපාර ආශ්‍රිතව මුල්‍ය සාක්ෂරතාවය පිළිබද දැනුම ලබාදීම, වෙළදපොළ ගුණාත්මකභාවය පවත්වාගෙන යෑම, ව්‍යාපෘති යෝජනා සැකසීම ඇතුළු ව්‍යවසායකන්ට අවශ්‍ය කරන න්‍යායික සහ ප්‍රායෝගික දැනුම නොමිලේ ලබාදීම මෙම පුහුණු වැඩසටහනේ අරමුණය.

    මෙහිදී කර්මාන්ත අමාත්‍යවරයා අදහස් දක්වමින් කියා සිටියේ, අප රටේ විශ්වවිද්‍යාල ව්‍යවසායකයින් සමග එක්ව කටයුතු කිරීමට තීරණය කිරීම අතිශය වැදගත් බව ය. ඒ සදහා මෙවැනි අලුත් සංස්කෘතියක් නිර්මාණය වීමේ වැදගත්කම පිළිබදව ද අමාත්‍යවරයා අදහස් දැක්වූ අතර මේ සදහා සිය සහයෝගය ලබාදීමට තීරණය කළ කොළඹ විශ්වවිද්‍යාලයට සිය කෘතවේදීත්වය ද පිරිනැමීය.

    මෙම අවස්ථාවට ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපති උපසේන දිසානායක, අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෝ වන ආලෝක වාහලවත්ත, නිෂාද් බුද්ධික, කොළඹ විශ්ව විද්‍යාලයේ කළමනාකරණ සහ මුල්‍ය පීඨයේ පීඨාධිපති එම්.පී.පී ධර්මදාස, ජේෂ්‍යඨ මහාචාර්ය එච්. ඩී. කරුණාරත්න, ආචාර්ය තිස්ස රවීන්ද්‍ර පෙරේරා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.