September, 15, 2026
අනිලානා හොටෙල්ස් ඇන්ඩ් ප්‍රොපටීස් පීඑල්සී (Anilana Hotels and Properties PLC) සමාගමට අයත් ත්‍රිකුණාමලයේ නිලාවේලි සහ පාසිකුඩා යන ප්‍රදේශවල පිහිටි හෝටල් දේපළ, 1990 අංක 04 දරන බැංකු මගින් ණය අයකර ගැනීමේ (විශේෂ විධිවිධාන) පනතේ විධිවිධාන යටතේ සම්පත් බැංකුව විසින් පවරාගෙන ඇති බව කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත නිල වශයෙන් දැනුම් දී තිබේ.
කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත ලිපියක් යොමු කරමින් අනිලානා හොටෙල්ස් සමාගම සඳහන් කර ඇත්තේ, මෙම දේපළ පවරා ගැනීම තහවුරු කරමින් සම්පත් බැංකුව විසින් 2026 අගෝස්තු 31 වන දින නිකුත් කරන ලද ලිපිය 2026 සැප්තැම්බර් 01 වන දින තමන් වෙත ලැබුණු බවයි.
මෙම දේපළ පවරා ගැනීමට සම්පත් බැංකුව ගත් තීරණය සහ සම්මත කරන ලද යෝජනාවට අභියෝග කරමින් වාණිජ මහාධිකරණයේ CHC 98/25/MR සහ CHC 99/25/MR නඩු අංක යටතේ නඩු දෙකක් පවරා ඇති බව සමාගම වැඩිදුරටත් සඳහන් කරයි. එම නඩු දෙක මේ වන විට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ SC/HCLA/115/26 සහ SC/HCLA/116/26 දරන අභියාචනා නඩු ලෙස විභාග වෙමින් පවතී.
ඊට අමතරව, 2007 අංක 07 දරන සමාගම් පනත යටතේ CHC 60/2026/CO අංකය යටතේ වාණිජ මහා අධිකරණය හමුවේ සමථයකට එළඹීම සඳහා සමාගම විසින් අයදුම්පතක් ඉදිරිපත් කර ඇත. අදාළ හෝටල් දේපළ වෙනුවෙන් අපේක්ෂිත ආයෝජකයෙකු විසින් රුපියල් බිලියන 1.2 ක මුදලක් යෝජනා කර ඇති බවත්, එම මුදල මගින් සම්පත් බැංකුව සමඟ සමතයකට එළඹීමට බලාපොරොත්තු වන බවත් අධිකරණයට දැනුම් දී තිබේ. මෙම ඉදිරිපත් කිරීම සලකා බැලූ වාණිජ මහා අධිකරණය විසින් සම්පත් බැංකුව වෙත නොතීසි නිකුත් කර ඇත.
වාණිජ මහාධිකරණයේදී බැංකුව සහ සමාගම අතර යම් සමතයකට එළඹීමට හැකි වුවහොත්, ඒ පිළිබඳ පූර්ණ අනාවරණයන් ඉදිරියේදී වෙළඳපොළ වෙත සිදු කරන බවද අනිලානා හොටෙල්ස් සමාගම ප්‍රකාශ කර සිටියි.
Video Story