ඉන්දුනීසියාවේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සහ සමුපකාරවල විශිෂ්ඨ අත්දැකිම් ශ්‍රී ලංකාව හා බෙදා ගැනමේ එකඟතාවක්

    January, 27, 2021

    ඉන්දුනීසියාවේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සහ සමුපකාර අංශවල විශිෂ්ඨ පරිචයන් ශ්‍රී ලංකාව සමඟ බෙදා හදා ගැනීම සඳහා, ඉන්දුනීසියාවේ සමුපකාර හා කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකාවේ සමුපකාර සේවා, අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍යාංශය අතර වෙබිනාර් සාකච්ඡාවක් ජකර්තා හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ මැදිහත්වීමෙන් ඉකුත් 13 වැනි දින පැවැත්විණ.

    ඉන්දුනීසියාවේ නිෂ්පාදන සහ අලෙවිකරණ හා ප්‍රවර්ධන නියෝජ්‍ය අමාත්‍ය වික්ටෝරියා සිමානුන්කලිත් මහත්මිය සහ සමුපකාර හා කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර අමාත්‍යාංශය යටතේ පවතින රාජ්‍ය සේවා ආයතනයක් වන කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය හා සමුපකාර (SMESCO) ආයතනයෙහි සභාපති හා අධ්‍යක්ෂ ලෙනාඩ් තියෝසබ්‍රතා මහතා මෙම වෙබිනාර් සාකච්ඡාව ඇමතූහ. SMECO ආයතනය, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් විසින් නිපදවන ලද දේශීය නිෂ්පාදන, දේශීය හා ජාත්‍යන්තර වෙළඳපොළ සඳහා ප්‍රවර්ධනය කිරීම හා අලෙවිකරණය කිරීම සහ වෙනත් රටවල හවුල්කරුවන් ගණනාවක් සමඟ සහයෝගයෙන් කටයුතු කරයි.

    ශ්‍රී ලංකාවේ සමුපකාර සේවා, අලෙවිකරණ සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් කේ.ඩී.එස්. රුවන්චන්ද්‍ර මහතා, අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ දකුණු, බස්නාහිර, උතුරු, මධ්‍යම, ඌව සහ වයඹ පළාත්වල පළාත් සමුපකාර කොමසාරිස්වරුන් මෙම වෙබිනාර් සාකච්ඡාව සඳහා සහභාගී වූහ. සමුපකාර අංශය පිළිබඳ පාර්ලිමේන්තු පනත නැවත කෙටුම්පත් කිරීම ඇතුළුව ශ්‍රී ලංකාව සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර අංශය පරිවර්තනය කිරීම සඳහා කටයුතු කරන බැවින්, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ක්ෂේත්‍රයේ විශිෂ්ඨ පරිචයන් ජාත්‍යන්තර වශයෙන් බෙදාහදා ගන්නා ලෙස කේ.ඩී.එස්. රුවන්චන්ද්‍ර මහතා ශ්‍රී ලංකා දූත මණ්ඩල ජාලයෙන් කළ ඉල්ලීමක ප්‍රතිඵලයක් ලෙස මෙම වෙබිනාර් සාකච්ඡාව පැවැත්විණ. දැනුම හුවමාරු කර ගැනීම, මිත්‍රත්වයේ විශිෂ්ට ක්‍රියාවක් බව රාජ්‍ය ලේකම්වරයා සිය අදහස් දැක්වීමේ දී සඳහන් කළේය.

    ශ්‍රී ලංකාව සහ ඉන්දුනීසියාව මිත්‍රශීලී අසල්වැසි රාජ්‍යයන් වන අතර, ශතවර්ෂ ගණනාවක් තිස්සේ පවතිමින් ශක්තිමත් වූ බහුවිධ ද්විපාර්ශ්වික සම්බන්ධතාවයක් භුක්ති විඳින බව ඉන්දුනීසියාවේ ශ්‍රී ලංකා තානාපතිනි යසෝජා ගුණසේකර මහත්මිය සඳහන් කළාය.