රේන්කෝ “Trendy ඩෙනිම් කුඬේ” ට රත්තරනින් සම්මාන

    March, 16, 2021

    ශ්‍රී ලාංකිකයන් අතර ජනප‍්‍රියතම කුඩ (Umbrella) සන්නාමයක් සහ අව් වැසි වලින් ආරක්‍ෂාවීමට භාවිතා කළ සාම්ප‍්‍රදායික "කුඩය" කාලයේ තාලයට ගැලපෙන ලෙස නව්‍යකරණයෙන් බලගැන්වූ නිර්මාණාත්මක කුඩ නිෂ්පාදන පෙළක් ලෙස වෙළෙඳපොළට හඳුන්වාදෙන "රේන්කෝ" පසුගියදා පැවැති SLIM Digis සම්මාන උළෙලේදී රන් සම්මානයෙන් පිදුම් ලබා ඇත. ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) විසින් ඩිජිටල් අලෙවිකරණ ක්ෂේත‍්‍රයේ විශිෂ්ඨයන් ඇගයීම වෙනුවෙන් වාර්ෂිකව පවත්වනු ලබන SLIM Digis සම්මාන උළෙලේදී මෙවර විලාසිතා කාණ්ඩයේ රන් සම්මානය රේන්කෝ වෙත හිමිවූයේ "Trendy ඩෙනිම් කුඬේ" නව නිෂ්පාදනය වෙනුවෙනි.

    SLIM Digis සම්මාන උළෙලේදී රන් සම්මානයෙන් පිදුම් ලැබූ "Trendy ඩෙනිම් කුඬේ" පෙනුමෙන් ඩෙනිම් වාගේ නිමාවකින් යුතුව ඩෙනිම් විලාසිතා ප‍්‍රියකරණ විලාසිතා ලෝලීන් වෙනුවෙන්ම නිෂ්පාදනය කරන ලද්දකි. නව පරපුරට නව රැල්ලට ගැලපෙන විලාසිතාවක් ලෙස භාවිතා කළ හැකි නිසාත් ශ්‍රී ලාංකීය තාරුණ්‍යයේ ආකර්ෂණය දිනූ රූපවාහිනී නිවේදිකාවක් සහ නර්තන ශිල්පිනියක් වන සචිනි නිපුන්සලා මූලික කරගනිමින් ෆේස්බුක් / ඉන්ස්ටග‍්‍රෑම් / ටික්ටොක් සමාජ ජාල ආශ‍්‍රිතව ආරම්භ කළ “Rainco Trendy Dance Challenge” නර්තන වීඩියෝ තරගාවලිය නිසාත් රේන්කෝ "Trendy ඩෙනිම් කුඬේ" සමාජ මාධ්‍ය හරහා ශ්‍රී ලාංකීය තාරුණ්‍යයේ සුවිසල් ආකර්ෂණයක් දිනාගැනීමට සමත් වූ නව නිපැයුමකි.

    කුඩය සඳහා ශ්‍රී ලාංකිකයන්ගේ දෛනික ජනජීවිතය තුළ හිමිව තිබෙන සාම්ප‍්‍රදායික හුරුව "ජීවන විලාසිතාවක්" දක්වා පරිවර්තනය කිරීමේ අරමුණ ඇතිව රේන්කෝ විසින් පසුගිය කාලය මුළුල්ලේම නව නිපැයුම් රැසක් වෙළෙඳපොළට හඳුන්වාදෙන්නට මූලික විය. එමෙන්ම විද්‍යා හා තාක්ෂණ ක්ෂේත‍්‍රයේ නවතම සොයාගැනීමකට අනුව ටයිටේනියම් ලෝහය භාවිතා කරමින් නිර්මාණය වූ ස්වයංක‍්‍රීයව දිගහැරෙන සහ වැසෙන තාක්ෂණික ක‍්‍රමවේදයක් රේන්කෝ කුඩ නිෂ්පාදයන් වෙත අන්තර්ගතකොට තිබේ. ශ්‍රී ලාංකීය දේශගුණයට හා සංස්කෘතික සාධක අනුව මනාව සැසඳෙන ආකාරයෙන් නව නිපැයුම් කුඩ නිෂ්පාදන පෙළක් ඉදිරිපත් කරන රේන්කෝ හිරු එළිය තුළ අන්තර්ගත අහිතකර UV කිරණ බලපෑමෙන් ඔබ ආරක්ෂා කරන “Sun Protech”, රථවාහන හිමියන්ගේ අවශ්‍යතා අනුව මනාව ගැලපෙන ලෙස විශේෂයෙන් නිර්මාණය කරන ලද  “C-wiser”,  කුඩා ළමුන් වෙනුවෙන්ම නිර්මාණය වූ ආකර්ෂර්‍ණය “Stencil Umbrella”,  පෙර පාසැල් හා ප‍්‍රාථමික ශ්‍රේණි දරුවන්ගේ ඇසට අකුරු හුරුකරවන නිර්මාණශීලී නිෂ්පාදනයක් ලෙස එළිදැක්වූ  “akurukude” කුඩ නිෂ්පාදන පෙළ අතර කැපීපෙනෙන නව නිපැයුම් කිහිපයකි. රේන්කෝ 100% ක් ප‍්‍රතිචක‍්‍රීයකරණය කළ හැකි ලෝකයේ පළමු කුඩය නිෂ්පාදනය කිරීම උදෙසා ඉතාලියානු සමාගමක් සමග එක්ව කටයුතු කරනු ලබන අතර එය ගෝලීය කුඩ නිෂ්පාදන කර්මාන්තය තුළ නව පිබිදීමක් ඇතිකරලීමෙහිලා සමත්වනු ඇත.