කෙරවලපිටිය සහස්ධනවි විදුලිබල ව්‍යාපෘතිය ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ ගිවිසුම් ලියාපදිංචිය සමඟ ඉදිරියට: ඇමරිකානු ඩොලර් මිලියන 291.19 ක ආයෝජනයක් සහ නව රැකියා 1,147ක්

    September, 9, 2026

    ශ්‍රී ලංකාවේ බලශක්ති සුරක්ෂිතතාව ශක්තිමත් කරමින්, කෙරවලපිටිය කාර්මික කලාපයේ ඉදිකෙරෙන මෙගාවොට් 350ක ‘සහස්ධනවි’ සංයුක්ත චක්‍ර විදුලි බලාගාරයේ (Combined Cycle Power Plant) සංවර්ධන කටයුතු සඳහා වන ගිවිසුම ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය (BOI) විසින් සාර්ථකව ලියාපදිංචි කර ඇත. 1978 අංක 4 දරන ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩල පනතේ 17(2) වගන්තිය යටතේ 2026 අගෝස්තු 13 වන දින මෙම ගිවිසුම ලියාපදිංචි කර තිබේ.

    මෙම ව්‍යාපෘතියට අදාළ ප්‍රධාන තොරතුරු පහත පරිදිය.

    • විශාල ආයෝජනයක්: ව්‍යාපෘතිය සඳහා අපේක්ෂිත සමස්ත ආයෝජනය ඇමරිකානු ඩොලර් මිලියන 291.19කි. මෙයට ඇමරිකානු ඩොලර් මිලියන 90ක කොටස් ප්‍රාග්ධනය, ඩොලර් මිලියන 196.19ක ණය ප්‍රාග්ධනය සහ ඩොලර් මිලියන 5ක වෙනත් අරමුදල් ඇතුළත් වේ.
    • නව රැකියා අවස්ථා: බලාගාරයේ කටයුතු උපරිම මෙහෙයුම් ධාරිතාවයට ළගාවීමේදී  රැකියා අවස්ථා 1,147ක් නිර්මාණය වන අතර, දේශීය තාක්ෂණික හා වෘත්තීය හැකියාවන් වර්ධනය කිරීමට ද සහාය ලැබේ.
    • ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම (BOOT පදනම): ඉදිකිරීම, හිමිකාරීත්වය, මෙහෙයුම් සහ පසුව පවරාදීමේ (Build-Own-Operate-Transfer) පදනම මත ක්‍රියාත්මක වන අතර, ජාතික විදුලිබල පද්ධතියට සෘජුවම විදුලිය සැපයේ.
    • අදියර දෙකකින් නිමකිරීම:
      • 1 වන අදියර: LNG භාවිතයෙන් නිපදවෙන මෙගාවොට් 243ක ජනන ධාරිතාවක් සහිත ගෑස් ටර්බයිනය (ඩීසල් භාවිතයෙන් මෙගාවොට් 213ක්).
      • 2 වන අදියර: LNG භාවිතයෙන් නිපදවෙන මෙගාවොට් 107ක ධාරිතාවක් සහිත වාෂ්ප ටර්බයිනය (ඩීසල් භාවිතයෙන් මෙගාවොට් 105ක්).
      • ගිවිසුමට අත්සන් තැබූ දින සිට මාස 42ක් ඇතුළත ව්‍යාපෘතිය නිම කිරීමට සැලසුම් කර ඇත.
    • පරිසර හිතකාමී සහ සුමට බලශක්ති පරිවර්තනයක්: ආරම්භයේදී ඩීසල් ඉන්ධන භාවිත කළද, යටිතල පහසුකම් සම්පූර්ණ වූ පසු වඩාත් පිරිසිදු ඉන්ධනයක් වන නැවත වායුකරණය කරන ලද ද්‍රව ස්වභාවික වායුව (RLNG) භාවිතයට මාරු වේ.
    • කෙරවලපිටිය බලශක්ති මධ්‍යස්ථානයක් ලෙස: මෙම ව්‍යාපෘතිය, දැනට පවතින සෝබාධනවි (මෙගාවොට් 350) සහ යුගධනවි (මෙගාවොට් 300) බලාගාර සමඟ එක්වූ විට සමස්ත විදුලි ජනන ධාරිතාව මෙගාවොට් 1,000ක් (1 GW) දක්වා ඉහළ යනු ඇත.

    විදුලි ජනනයට අමතරව ඉදිකිරීම්, ඉංජිනේරු, ප්‍රසම්පාදන නිෂ්පාදන  හා සැපයුම් කළමනාකරණ  ක්ෂේත්‍ර හරහා මෙම ව්‍යාපෘතිය මඟින් ආර්ථිකයට පුළුල් වටිනාකමක් එකතු කරනු ලබයි. ශ්‍රී ලංකාවේ අනාගත විදුලි අවශ්‍යතාවය වෙනුවෙන් විශ්වාසනීය බලශක්ති සැපයුමක් තහවුරු කිරීමට සහ සහයෝගය දුන් සියලුම පාර්ශ්වකරුවන්ට සහස්ධනවි ලිමිටඩ් සමාගම සිය කෘතඥතාව පළ කරයි.

    Video Story

    Stock Market

    Exchange Rates