හම්බන්තොට ජාත්‍යන්තර වරායට අතිනවීන ඛනිජ තෙල්  පරික්ෂණ රසායනාගාරයක්

    June, 7, 2021

    ශ්‍රී ලංකාවට අනන්‍ය වූ අති නවීන ඛනිජ තෙල් පරීක්ෂණාගාරයක් පිහිටුවීම සඳහා හම්බන්තොට ජාත්‍යන්තර වරාය ඉන්ටර්ටෙක් ලංකා පුද්ගලික සමාගම සමඟ හවුල්කාරීත්වයකට එළැබි ඇත. මෙම පරික්ෂණාගාරය  ඛනිජ තෙල් සාම්පල සහතික කිරීම, පරීක්ෂා කිරීම ආදී සේවා සපයනු ඇත.

    ඉන්ටර්ටෙක් සමාගමට වරාය තුළ සිය සේවාවන් ස්ථාපිත කිරීමට අවස්ථාව ලබා දෙමින් පසුගියදා පැවති අන්තර්ජාල හමුවකදී හම්බන්තොට වරාය සහ ඉන්ටර්ටෙක් ලංකා (පුද්) සමාගම වසර 10 ක හවුල්කාරිත්වයක් සඳහා ගිවිසුම් අත්සන් කරන ලදි.

    හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහයේ (HIPG) ප්‍රධාන විධායක නිලධාරී ජොන්සන් ලියු පවසන්නේ, “ලෝකයේ නාවික ඉන්ධන වලින්  50% ක් වෙළඳාම් කරන ඉන්දියානු සාගරයේ උපායමාර්ගික ස්ථානයක පිහිටා ඇති හම්බන්තොට වරාය සතුව බලශක්ති සේවා සැපයීමේ විශාල හැකියාවක් පවතින බවයි.  අපගේ සේවාවන් වන ඉන්ධන තොග වශයෙන් සැපයීම, LPG මෙහෙයුම් සහ අනාගත LNG මෙහෙයුම් හරහා කලාපයේ බලශක්ති කේන්ද්‍රස්ථානයක් ලෙස හම්බන්තොට වරායේ ස්ථානය  සහතික කරනු ඇත”.

    ‘සමුද්‍රීය ද්‍රව්‍ය  පරීක්ෂා කිරීම, ඉන්ධන සැපයීම සහ ඒ ආශ්‍රිත පරික්ෂණ වැනි වරාය ආශ්‍රිත සේවාවන්හි ඛනිජ තෙල් පරීක්ෂාව වැදගත් භූමිකාවක් දරයි. අපගේ පුළුල් ගෝලීය ප්‍රතීතන, පිළිගැනීම් සහ ගිවිසුම් සමඟ ලොව පුරා ඕනෑම වෙළඳපොළක් සඳහා අවශ්‍ය නිෂ්පාදනවල ගුණාත්මකභාවය, සෞඛ්‍යය, පාරිසරික ආරක්ෂාව සහ සමාජ වගවීමේ ප්‍රමිතීන් සපුරාලීම සහතික කිරීමට ඉන්ටර්ටෙක් බැඳී සිටී. නැගෙනහිර-බටහිර නැව් මාර්ගයේ වඩාත් උචිත ස්ථානයක පිහිටා ඇති හම්බන්තොට වරාය සමඟ වැඩ කිරීමට අපි බලාපොරොත්තු වන බව’, ඉන්ටර්ටෙක් ලංකා (පුද්ගලික) සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ ප්‍රියන්ත ද සිල්වා පවසයි.

    IMO 2020 හෙවත් ගෝලීය සල්ෆර් රෙගුලාසිය පරීක්ෂා කිරීමේ හැකියාව ඇති සැබවින්ම ජාත්‍යන්තර අති නවීන රසායනාගාරයක් ලෙස ස්ථාපිත කිරීමට අවශ්‍ය ගුණාත්මකභාවය හා තත්වය සහතික කිරීම සඳහා ප්‍රමුඛ ගෝලීය ස්වාධීන පරීක්ෂණ සේවා සැපයුම්කරු කැපවෙනු ඇත.

    පරික්ෂණාගාරය පිළිබඳ අදහස් දක්වමින් HIPGහි ප්‍රධාන මෙහෙයුම් නිලධාරි, තිස්ස වික්‍රමසිංහ මහතා පවසන්නේ, මෙම පහසුකම වරායට විශාල වටිනාකමක් එක් කරන බවත්, නැගෙනහිර-බටහිර ප්‍රධාන  නැව් මාර්ගවල ගමන් කරන  නැව් ජාලය සඳහා සපයන සේවාවන් සමඟ, හම්බන්තොට වරාය ගෝලීය සමුද්‍රීය නැවතුම්පොළක් ලෙස තම ස්ථානය සුරක්ෂිත කරන බවයි.

    ඉන්ටර්ටෙක් සිය ගනුදෙනුකරුවන්ට ඔවුන්ගේ නිෂ්පාදනවල වටිනාකම වැඩි කිරීමට, තරඟකාරී වාසි ලබා ගැනීමට සහ විශ්වාසදායී වෙළඳ නාම සංවර්ධනය කිරීමට, මෙන්ම සමස්තයක් වශයෙන් සමාජයේ යහපත සඳහා නිෂ්පාදන හා ක්‍රියාවලීන්ගේ අහිතකර සෞඛ්‍ය හා පාරිසරික බලපෑම් අවම කිරීම යන ක්ශේත්‍ර  සඳහා කීර්තියක් අත්පත් කරගෙන ඇත.

    මෙම හවුල්කාරිත්වය මගින් වරාය ගනුදෙනුකරුවන්ට ඉන්ධන තෙල් සහ සමුද්‍ර ඩීසල් වැනි නිෂ්පාදන කාර්යක්ෂමව පරීක්‍ෂා කර බැලීමට හැකි වනු ඇති අතර ඛනිජ තෙල් විද්‍යාගාරය වරාය පරිශ්‍රය තුළ පවතිනු ඇත.   ශ්‍රී ලංකාවට පැමිණෙන නෞකා වල ඛනිජ සාම්පල පරික්ෂා කිරීම සඳහා වර්තමානයේ  වෙනත් ස්ථානයන් වෙත  යොමු කරන අතර, මෙම පරික්ෂණාගාරය තුළින්  මෙම යාත්‍රා සඳහාද  සේවාවන් සෑපයීම හරහා අමතර ආදායමක් උපයා ගත හැකිය. මෙම නව විද්‍යාගාරය මගින් දේශීය ප්‍රජාවට රැකියා අවස්ථා විවෘත කෙරෙන අතර ජාත්‍යන්තර ප්‍රමිතීන්ගෙන් යුත් රසායනාගාර මෙහෙයුම් ශ්‍රී ලංකාව තුළදීම ලබා ගැනීමේ හැකියාව පවති.

    අන්තර්ජාල අත්සන් කිරීමේ හමුවට, HIPGහි  ප්‍රධාන විධායක නිලධාරී ජොන්සන් ලියු, HIPGහි ප්‍රධාන මෙහෙයුම් නිලධාරී තිස්ස වික්‍රමසිංහ, ඉන්ටර්ටෙක් සමාගමේ කලාපීය වෙළඳ අධ්‍යක්ෂ  ජේම්ස් ඉග්නාටොවිච්, කලාපීය විකුණුම් හා තාක්ෂණික අධ්‍යක්ෂ ස්ටීවන් හැරින්ග්ටන්, කලාපීය කළමණාකාර අධ්‍යක්ෂ සන්දීප් දාස්, ඉන්ටර්ටෙක් ශ්‍රී ලංකා මෙරට  කළමණාකාර අධ්‍යක්ෂ ප්‍රියන්ත ද සිල්වා සහ කලාපීය ප්‍රධාන මූල්‍ය නිලධාරි අජේ කපූර් යන මහත්වරුන් සහභාගී වූහ.

    ඡායා - හම්බන්තොට වරාය සහ ඉන්ටර්ටෙක් සමාගම අතර ගිවිසුම් අත්සන් කරන අයුරු.