2026 දෙවන කාර්තුවේ දී ශ්‍රී ලංකාවේ ව්‍යාපාර අපේක්ෂාවේ පහළ යාමක්. තෙවන කාර්තුවේ දී යථා තත්ත්වයට පත්වනු ඇතැයි අපේක්ෂා

    September, 17, 2026

    මැදපෙරදිග කලාපයේ ඇති වූ ගැටුම්කාරී තත්ත්වය හමුවේ උද්ගත වූ සාර්ව ආර්ථික අවිනිශ්චිතතාවන් හේතුවෙන් 2026 වසරේ දෙවන කාර්තුවේදී ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික විශ්වාසය යම් තරමක මන්දගාමීත්වයක් පෙන්නුම් කළද, ගෝලීය නොසන්සුන්තාවන් සමනය වීමත් සමඟ තෙවන කාර්තුවේදී එය නැවත යථා තත්ත්වයට පත්වනු ඇතැයි ශ්‍රී ලංකා ව්‍යාපාරික අංශය අපේක්ෂා කරයි.

    ශ්‍රී ලංකා මහ බැංකුව මඟින් නිකුත් කරන ලද නවතම ව්‍යාපාරික නිරීක්ෂණ සමීක්ෂණයට (Business Outlook Survey - BOS) අනුව, ව්‍යාපාරවල වත්මන් සහ අනාගත ක්‍රියාකාරී පරිසරය පිළිබඳ ඇගයීම නිරූපණය කරන ව්‍යාපාරික තත්ත්ව දර්ශකය (Business Condition Index - BCI) 2026 දෙවන කාර්තුවේදී 101 දක්වා පහත වැටී ඇත. එය ප්‍රථම කාර්තුවේදී සටහන් වූයේ 104 ක් ලෙසිනි. මෙම පහත වැටීම හමුවේ වුවද, දර්ශකය 100 සීමාවට වඩා ඉහළින් පැවතීම නිසා ව්‍යාපාරික වාතාවරණය තවදුරටත් ධනාත්මක මට්ටමක පවතින බව පෙන්නුම් කරයි.

    2026 තෙවන කාර්තුවේදී ගෝලීය නොසන්සුන්තාවන් සමනය වීමත් සමඟ මෙම දර්ශකය 107 දක්වා ඉහළ යනු ඇතැයි මහ බැංකුව පුරෝකථනය කර තිබේ.

    ශ්‍රී ලංකා මහ බැංකුවේ සංඛ්‍යාන දෙපාර්තමේන්තුව විසින් ගුණාත්මක දර්ශක හරහා කෙටිකාලීන වෙළඳපොළ වර්ධනයන් ග්‍රහණය කර ගැනීම සහ අනාගත ප්‍රවණතා පුරෝකථනය කිරීම සඳහා, අනාගත ව්‍යාපාරික තත්ත්වයන් සහ වර්තමාන ආර්ථික තත්ත්වය අධීක්ෂණය කිරීමට ප්‍රයෝජනවත් වන ව්‍යාපාර අපේක්ෂා පිළිබඳ සමීක්ෂණය, 2014 වසරේ 2 වන කාර්තුවේ පටන් කාර්තුමය පදනමින් ආරම්භ කරන ලදී. මේ අනුව, මෙම සමීක්ෂණය පූර්ව විපරම් දර්ශකයක් ලෙස ක්‍රියාකරයි.