June, 8, 2021
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ජීවිත රක්ෂණ සමාගමක් වන අලියාන්ස් ඉන්ෂුවරන්ස් ලංකා ලිමිටඩ් සිය ගනුදෙනුකරුවන් වෙනුවෙන් වැඩි වටිනාකමක් එක් කිරීම හා ප්‍රතිලාභ රැසක් හිමි කර දීම වෙනුවෙන් මෙරට ප්‍රමුඛතම පෞද්ගලික අංශයේ සෞඛ්‍ය සේවා සැපයුම්කරුවකු වන ආසිරි හෙල්ත් සමඟ සහයෝගීතා ගිවිසුමකට එළඹෙන ලදී.
අලියාන්ස් ලංකා රක්ෂණ ඔප්පු හිමියන් හට ආසිරි හෙල්ත් වෙතින් සෞඛ්‍ය සේවා සළසා ගැනීමේදී කාමර ගාස්තු සඳහා, රසායනාගාර පරීක්ෂණ සහ වෙනත් රෝග නිර්ණය සේවාවන් සඳහා සුවිශේෂී වට්ටම් හිමි කර ගැනීමට මෙම හවුල්කාරීත්වය තුළින් හැකියාව උදා වේ. එසේම රෝහලේ සිට කිලෝ මීටර 10ක වටපිටාවක් තුළ සිටින රෝගීන් රෝහලට ඇතුළත් කිරීම සඳහා පරිපූරක ගිලන් රථ සේවාවක් සළසා ගැනීමටද මේ තුළින් අවස්ථාව ලබා දෙයි. තවද කොඳු ඇට පෙළ සහ ඒ ආශ්‍රිත වේදනාවන්, හෘද රෝග, පියයුරු රෝග, ස්නායු සම්බන්ධ රෝග ( මොළය හා කොඳු ඇට පෙළ),කාන්තාවන් සඳහා වන ප්‍රතිකාර සහ පෙර ගර්භණීභාවය සඳහා වන උපදේශන වැඩසටහන් ඇතුළු දැනුවත් කිරීමේ සෞඛ්‍ය සායන රැසක් වෙනුවෙන් අවස්ථාව සළසා ගැනීමටද මෙම හවුල්කාරීත්වය තුළින් අලියාන්ස් රක්ෂණ ඔප්පු හිමියන්ට අවස්ථාව හිමි වනු ඇත.
රට පුරා ප්‍රධාන නගරයන්හි පිහිටා ඇති ආසිරි සමූහයට අයත් රෝහල් තුළින් සියලුම අලියාන්ස් රක්ෂණ ඔප්පු හිමියන්ට මෙම ප්‍රතිලාභ අත් කරගත හැකිය. ඊට අමතරව මෝටර් හා මෝටර් නොවන රක්ෂණ ඔප්පු හිමියන් හට රසායනාගාර පරීක්ෂණ සඳහා වට්ටම් හිමි කරගැනීමේ අවස්ථාවද මේ තුළින් උදා වන අතර වට්ටම් සහිතව හෝ නොමිලේ සෞඛ්‍ය සායන සඳහා සහභාගී විය හැකි වවුචර්පත් ලබා ගැනීමේ අවස්ථාවද හිමි කර දීමට කටයුතු කර ඇත.
මෙම හවුල්කාරීත්වය පිළිබඳව අදහස් දැක්වූ අලියාන්ස් ඉන්ෂුවරන්ස් ලංකාහි ප්‍රධාන විධායක නිළධාරී/ අධ්‍යක්ෂ ගානි සුබ්‍රමනියම් මහතා පවසා සිටියේ “අලියාන්ස් සමාගම ලෙස අපි නිරන්තරයෙන් ජනතාවගේ සුරක්ෂිත කිරීමට මෙන්ම ගනුදෙනුකරුවන් වෙත වැඩි දියුණු කළ සේවාවක් ලබා දීමට කැපවී කටයුතු කරනවා. ආසිරි හෙල්ත් සමඟ ඇති කරගනු ලැබූ මෙම හවුල්කාරීත්වය තුළින් අපගේ රක්ෂණ ඔප්පු හිමියන් හට පිළිගත් සෞඛ්‍ය සේවාවන් රැසක් පහසුවෙන් ලබා ගැනීමට හැකියාව උදා වනවා. ඒ වගේම සෑම රක්ෂණ ඔප්පු හිමියකුටම ගැළපෙන ආකාරයේ සෞඛ්‍යය සේවාවක් කිසිඳු කරදරයකින් තොරව ලබා ගැනීමට මෙම සහයෝගීතාව ඉවහල් වනු ඇති බව අපගේ විශ්වාසයයි.” යනුවෙනි.
මෙහිදී අදහස් දැක්වූ ආසිරි හෙල්ත්හි සමූහ ප්‍රධාන විධායක නිළධාරී වෛද්‍ය මංජුල කරුණාරත්න මහතා “අලියාන්ස් ඉන්ෂුවරන්ස් ලංකා ආයතනය සමඟ සහයෝගීතා ගිවිසුමකට එළඹීමට ලැබීම පිළිබඳව ඉතාමත් සතුටුයි. ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සෞඛ්‍ය සේවා සැපයුම්කරුවකු ලෙස දක්ෂතාවලින් හා අත්දැකීම්වලින් පිරිපුන්, කැපවීමෙන් කටයුතු කරන සෞඛ්‍ය සේවා වෘත්තිකයින් පිරිසක් අප සතුයි. ඒ වගේම අපගේ රෝහල්වල යටිතල පහසුකම් සංවර්ධනය සඳහා අඛණ්ඩව ආයෝජනය කරමින් රෝගීන් වෙත නවීනතම වෛද්‍ය ප්‍රතිකාර ලබා දීමට අපි කටයුතු කර තිබෙනවා. ඒ නිසාම මෙම සබඳතාවය තුළින් අලියාන්ස් රක්ෂණ ඔප්පු හිමියන්ට ඉතා ඉහළ සෞඛ්‍ය සේවාවක් ලබා දීමට හැකිවනු ඇතැයි අපි විශ්වාස කරනවා.” යනුවෙන් පැවසීය.
ඡායාරූප විස්තරය - ආසිරි හොස්පිටල්ස් හි ප්‍රධාන විධායක නිළධාරී වෛද්‍ය මංජුල කරුණාරත්න මහතා (දකුණේ සිට 7 වැන්නා) විසින් අලියාන්ස් ඉන්ෂුවරන්ස් ලංකා ලිමිටඩ්හි ප්‍රධාන විධායක නිළධාරී ගානි සුබ්‍රමනියම් මහතා වෙත සහයෝගීතා ගිවිසුම පිළිගන්වමින්
(වමේ සිට) අලියාන්ස් ඉන්ෂුවරන්ස් ලංකාහි ප්‍රතිපාදන කළමනාකරණ ප්‍රධානී චරින්ද ප්‍රනාන්දු, ප්‍රධාන විකුණුම් නිළධාරී -ආයතනික රංග ඩයස්, ප්‍රධාන අලෙවි නිළධාරී මංගල බණ්ඩාර, ප්‍රධාන හිමිකම් නිළධාරී එස්.ධනංජයන්, වෙළෙඳ ප්‍රධානී අනුර පෙරේරා, ප්‍රධාන මෙහෙයුම් නිළධාරී අසංක පෙරේරා යන මහත්ම මහත්මීන් ඡායාරූපයේ වේ.
Video Story